ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය විසිවෙයිද? (VIDEO)

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය විසිවෙයිද? (VIDEO)

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය හිටපු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්‍ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මතුවූ නීති ගැටලු කිහිපයක් මුල්කරගෙන එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම කල්දමා තිබෙනවා.

අදාළ නීතිමය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවීමටත් කථානායකවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවලදී අරුණ ජයසේකර මහතාට සම්බන්ධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වී ඇති පසුබිමක ඔහු තනතුරේ තබාගෙන අදාළ විමර්ශන සිදු කළ නොහැකි බවයි විපක්‍ෂයේ පදනම වුණේ.

එහෙත් එදිනම රැස්වූ ආණ්ඩුවේ මන්ත්‍රි පිරිසක් සහ නීතිවේදීන් පිරිසක් අදාළ විශ්වාසභංග යෝජනාවේ නීතිමය පසුබිම පිළිබඳ සොයා බලා එය විවාදයට ගත නොහැකි බව පෙන්වා දුන් බව ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති විකාශය මඟින් මුල්වරට හෙළිදරව් කළා.

එමෙන්ම එම විශ්වාසභංගයේ එක් කරුණක් ලෙස සඳහන් ‘මන්ත්‍රිවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියාකළ යුතුව ඇති අතර සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් ඒකාග්‍රතාවයකින් විය යුතු බව මන්ත්‍රිවරුන්ගේ චර්යා ඡර්ම සංග්‍රහයේ සඳහන්ව ඇත යන්න පිළිබඳවත් අවධානය කර ඇති අදාළ කණ්ඩායම එසේනම් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රිවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සම්ප්‍රදායක් බිහිවන බව ඔවුන්ගේ නිරීක්‍ෂණයවී තිබුණා.

ඒ අනුව නියෝජ්‍ය ඇමතිවරයකු යන කැබිනට් ඇමතිවරයාට සහය දෙන්නකු පමණක් වන නිසා නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි නිසා අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය ඉවත දැමිය යුතු බව නීති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇති බවත් ලයිව් ඇට් ශ්‍රී ලංකා ඉකුත් බදාදා හෙළි කළා.

Share This