ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා පාර්ලිමේන්තුවට

ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා පාර්ලිමේන්තුවට

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා ( 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බවයි

මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law) යි

එමෙන්ම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව ඇති අතර ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වන බවයි

Share This