ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිංහයින් ඉදිරියට

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිංහයින් ඉදිරියට

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා.

අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ ඉසව් රැසක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 ක් ඉදිරිපත්ව සිටිනවා.

එහි මීටර් 100 ඉසව්වේ දෙවන මූලික තරගයට එක්වූ ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ තරගය තත්පර 10 .4 කින් එහි පළමුවැන්නා ලෙස තරගය අවසන් කළා.

ඒ අනුව ඔහු මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට එක්වූ කාලිංග කුමාරගේ තරගය තත්පර 46.59 කින් නිමා කරමින් එහි දෙවැන්නා බවට පත්වුණා.

ඒ අනුව කාලිංග කුමාර මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මෙහි කාන්තා මීටර් 400 ඉසව්වේ මූළික වටයේ තෙවැනි තරගයට එක්වූ නදීෂා රාමනායක තරගය තත්පර 53.77 කින් නිමා කරමින් එහි තෙවැන්නා බවට පත්වුණා.

ඇයගේ තරඟ නිමි කාලයට අනුව මීටර් 400 කාන්තා ඉසව්වේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

Share This