ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා පාර්ශව කිහිපයක් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස්වී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් සහභාගී වී ඇති බව සඳහන්.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ බව සඳහන්.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දී තිබෙනවා.

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක්වී ඇති බව සඳහන්.

මීට අමතරව ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙර තිබෙනවා.

Share This