
ඇමති වසන්ත සමරසිංහගෙන් මන්ත්‍රී රෝහණට එන්තරවාසියක්
අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බව පවසමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
2025.05.02 දින හෝ ඊට ආසන්න දිනයකදී පළාත් පාලන මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා විසින් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කොට, එය විශාල වශයෙන් සමාජය තුළ සංසරණය වන්නට ඉඩ හැරීම හේතුවෙන් අමාත්‍යවරයාගේ සමාජ පිළිගැනීමට බරපතළ හානියක් සිදු කොට ඇති බව සඳහන්.
එහිදී මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ හාර කෝටි අසූ පන් ලක්ෂයකට අනුරාධපුරයෙන් නිවසක් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී ඇති බවටයි.
වසන්ත සමරසිංහ මහතා වත්මන් රජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙසත්, ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙසත් කටයුතු කරන අතර මෙමගින් අමාත්‍යවරයාට ඉතා දැඩි ලෙස අපහාසයක් සිදුව ඇති බව අදාළ එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා විසින් සිදුකළ එම ප්‍රකාශය මැතිවරණය ආසන්නයේ සිදු කිරීම සහ ඒ සඳහා පිළිතුරු ලබාදීමට කාලයක් නොමැතිවීම හේතුවෙන් එය මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහිද බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසන්නේ.
එම ප්‍රකාශය නිසා සිදුවූ අපහාසය හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා වෙත එන්තරවාසිය ඉදිරිපත් කරන අතර එමගින් රුපියල් මිලියන 500 ක් දින 14ක් ඇතුළතදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා වෙත ගෙවන ලෙසද, එසේ ක්‍රියාකිරීමට අපොහොසත් වන්නේ නම්, නීති ප්‍රකාරව සුදුසු අධිකරණයක නඩු පවරා එම මුදල් අය කර ගැනීමට නියමිත බවද එම එන්තරවාසියේ සඳහන්.