
ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ දී පුහුණු අභ්‍යාසයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් හා රටවල් රැසක සහභාගිත්වයෙන් පුරා දින පහක් තිස්සේ පැවති “Pacific Angel 2025” පුහුණු අභ්‍යාසය ඊයේ (12) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමා වුණා.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ ඇමරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සමඟ මෙම පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවයට එක්ව සිටියා.
සැප්තැම්බර් 08 වන දින ආරම්භ වූ මෙම බහුජාතික පුහුණු අභ්‍යාසය සඳහා එක්සත් ජනපද පැසිෆික් හමුදා, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකාය, ඉන්දියානු ගුවන් හමුදාව, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බළකාය සහ බංගලාදේශ ගුවන් හමුදාව සහභාගී වූ අතර, සත්කාරක ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවද, එක්ව සිටියා.
මෙම පුහුණු අභ්‍යාසය සඳහා විදේශීය හමුදා නියෝජිතයින් 123 දෙනෙකු ඇතුළත්ව දෙස් විදෙස් හමුදා නියෝජිතයින් 300 ක පිරිසක් සම්බන්ධ වු අතර, එම පුහුණු අභ්‍යාසයේදි සෙවීම් සහ ගලවාගැනීම් මෙහෙයුම් (SAR) සහ මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) මෙහෙයුම් වෙත විශේෂ අවධානයක් යොමු කර තිබුණා.
තවදුරටත්, මෙම වැඩසටහනේ දී ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් කාර්ය මණ්ඩල මෙහෙයුම්, ගුවනින් ලෙඩුන් රැගෙන යාම, අනතුරු වෛද්‍ය ප්‍රතිචාර, වනාන්තර ජීවිතාරක්‍ෂණ මෙහෙයුම් සහ ගුවන් ප්‍රවාහන භාණ්ඩ කළමනාකරණය වැනි විශේෂ වූ ක්ෂේත්‍රයන් හී විශේෂඥ දැණුම හුවමාරු සිදුකිරීමද එහිදී සිදුවීම කැපී පෙනුණා.
පුහුණු අභ්‍යාසය මූලිකවම කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සිදුකල අතර, අභ්‍යාසයේ නිරත වුවන් සඳහා විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ පුහුණු සැසි අවස්ථාවන් නිර්මාණය කරමින් චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ දී සහ අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ දී පුහුණු සැසි කිහිපයක් පවත්වා තිබෙනවා.
මෙම අභ්‍යාසය සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130J ගුවන් යානා දෙකක්, බෙල් 412, බෙල් 212 ගුවන් යානා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ King Air 350 ගුවන් යානයක් ඇතුළුව විවිධ ගුවන් පහසුකම් සපයා තිබුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාව ද, සිය යාත්‍රා වල දායකත්වය ලබා දෙමින් සමුද්‍රීය අභ්‍යාසයන් සඳහා එක්වුණා.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම මුලපිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර කල් පවත්නා හවුල්කාරීත්වය නැවත වරක් පෙන්නුම් කර ඇති අතර, අන්තර් ජාතික වශයෙන් ආරක්‍ෂක අභියෝග වඩ වඩාත් සංකීර්ණ වන ලෝකයක මෙවැනි අභ්‍යාස හමුදා අතර සහයෝගීතාවය සඳහා ඇති ඉල්ලුම මතක් කර දෙන බවයි.
උත්සවය අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සාමූහික සූදානම තේරීමක් නොව අවශ්‍යතාවයක් බව, මෙයින් අපට පෙන්වා දෙන බවයි.
ගෝලීය ආරක්‍ෂාව සහ ආර්ථික යන ක්ෂේත්‍රවල දී ඉන්දියානු සාගර කලාපය ඉතාමත් වැදගත් වන බව ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළා.
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානව පිහිටි නිසාවෙන් ස්ථාවරත්වය, ආරක්‍ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම අපගේ වගකීමක් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
ආරක්‍ෂක ලේකම්වරයා “Pacific Angel අභ්‍යාසයේ විශේෂ වැදගත්කම අවධාරණය කරමින් එය විශේෂඥ දැණුම සහ සම්පත් එක්තැන් කල අවස්ථාවක් වන බවත්, එය සහභාගී වන සියලූම පාර්ශවකරුවන් ජාතීන් අතර හොඳ හිත ශක්තිමත් කර ඇති බවද, පැවසුවා.
ඊයේ සවස පැවති සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරින් අතුලු විශාල පිරිසක්ද, එක්ව සිටියා.