ඇමැති මනුෂ සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ

ඇමැති මනුෂ සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ

වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සඳහන් කළා.

ඒ සිය නිල සංචාරය අතරතුර සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති වෘත්තිකයන්ගේ හමුව අමතමිනුයි.

එහි දී රැස්ව සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.

“ඉතිහාසය තුළ සෞදිය කිව්වා ම අපේ හිත්වල තිබුණේ අපේ කාන්තාවන්ට සේවය කරන්න තියෙන තැනක් විදියට. විදේශ සේවා නියුක්ති කාර්යංශය ගත්තත් අරාබිකරයට රස්සාවකට එනවා කිව්වොත්, අපේ රට කාන්තාවන්ගේ ශ්‍රමය අඩු මුදලකට විකුණන රටක් විදියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. ඒත් සෞදියේ දී අපට හමුවුණු බොහෝ ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් අපේ අම්මා ලංකාවේ කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් කිව්වා. ඒ කියන්නේ අපේ කාන්තාවන් තමන්ගේ සේවාව ඉතා ම හොදින් ඉටුකරලා තියෙනවා. අපි ඒක අඩුකොට සලකන්නේ නෑ. රටක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වන්නේ විදෙස් රැකියා සදහා හැකි තරම් වෘත්තිකයන් යොමු කිරීමෙන් මිස ගෘහ සේවයට යොමු කිරීමෙන් නෙවෙයි.

වෘත්තිකයන් විදියට ඔබ ලංකාවේ අධ්‍යාපනය ලබලා, සෞදියට ඇවිල්ලා ලංකාව වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. තවත් බොහෝ පිරිසක් ආයෙමත් ලංකාවට නොඑන්න ම දුර රටවලට යනවා. තමන්ගේ ගේ දොරත් විකුණලා ඒ ඩොලර් ටිකත් ඒ රටවලට ම අරගෙන යනවා. හැබැයි ඔබ, ඔබේ වේතනය ලංකාවට යවලා, නැවත කවදා හරි ලංකාවටත් යනවා. යුරෝපෙට, එංගලන්තයට, ඇමෙරිකාවට යන බොහෝ අය ආයේ නොඑන්නමයි යන්නේ. හැබැයි ඔබ ඔබේ යුතුකම ඉහළින් ම ඉටුකරනවා.

සෞදි රාජ්‍යයට වෘත්තිකයන් කාණ්ඩ තුනක් යටතේ හැකියාවන් තහවුරු කිරීමේ පරීක්ෂාවකින් අනතුරු ව යොමු කෙරෙනවා. ලංකාවෙන් සෞදියට එන විදුලි කාර්මිකයන් දැන් ඉන්නේ සහායකයන්, අත්උදව්කරුවන් විදියට. මේ හරහා ඉදිරියේ දී ඔවුන්ට විදුලි කාර්මිකයන් ලෙසින් ම රැකියාවට එන්න අවස්ථාව සැලසෙනවා.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ලබා දෙන උපාධි හා ඩිප්ලෝමා සියල්ල සෞදි රජය පිළිගන්නා මට්ටමට සකස් කිරීම සදහා හදුනා ගැනීමේ වැඩපිළිවෙල ඉක්මනින් ම ක්‍රියාත්මක කරනවා.

එවගේ ම නියෝම් ව්‍යාපෘතිය ඇස් දෙකෙන් ම බලා ගන්න වුවමනාව තිබුණේ කොහොමද ඒක ගොඩ නැගෙන්නේ කියන එක බලාගන්න. මේ ව්‍යාපෘතිය තුළින් යුරෝපය සතු බලය ක්‍රමානුකූල ව මේ කලාපයට අත්පත් කරගැනීමේ සහ මෙය එහි මූලස්ථානය වීමේ ලකුණු පහළ වී තියෙනවා. මේකට තමයි අපි වැඩියෙන් ම අවධානයක් යොමු කළ යුත්තේ. ශ්‍රමිකයන් යොමු කරවීම, ව්‍යාපාර අවස්ථා හරහා කොහොමද මෙයින් අපේ රටට වැඩි වාසි ලබා ගන්න පුළුවන් කියලා අවධානය යොමු කළ යුතුයි. යුරෝපානුවන් අපේ ශ්‍රමය සහ සම්පත් හූරා කෑවා පමණයි. හැබැයි මෙය දෙපැත්තට ම සමබර කර ගනිමින් කොහොමද අපේ උන්නතියට භාවිත කරන්නේ කියන එක අපි සැලසුම් කර ගත යුතුයි. “

Share This