ඇමෙරිකා බදු ප්‍රතිශතයන් තවදුරටත් පහළ දමා ගැනීමට රජයට සහාය දීමට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්

ඇමෙරිකා බදු ප්‍රතිශතයන් තවදුරටත් පහළ දමා ගැනීමට රජයට සහාය දීමට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්

ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 180කට අධික සංඛ්‍යාවකට බලපැවැත්වෙන පරිදි ඉහළ තීරුබදු පැනවීමට කටයුතු කළේ ඉකුත් අප්‍රේල් දෙවැනිදායි.

එහිදී චීනය, යුරෝපා සංගමය, වියට්නාමය සහ තායිවානය යන රටවලට පිළිවෙලින් 34%, 20%, 46%, 32% වශයෙන් ඉහළ තීරු බදු නියම වුණා.

මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට ජාත්‍යන්තරයෙන් දැඩි චෝදනා එල්ල වෙද්දි දින අනූවක බදු සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි ට්‍රම්ප් පියවර ගත්තේ.

ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ සහන කාලය ජුලි මස 9 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ පසුබිමක ජුලි මස දෙවැනිදා වන විට ට්‍රම්ප් නිවේදනය කලේ රට රටවල්වලට අදාළ තීරු බදු ප්‍රතිශත ලිපි මගින් දැනුම් දීම ආරම්භ කරන අතර කිසිදු හේතුවෙක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි.

එසේ වුවත් එම සහනය කාලය අවසන් වීමට දින දෙකක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ඉකුත් හත් වනිදා ට්‍රම්ප් සිය තීරණය දෙවැනි වරටත් පසුපසට ගත් අතර ඔහු සදහන් කළේ සහන කාලය නව වැනිදායින් අවසන් වුවත් බදු අයකිරීම සිදුවන්නේ එළබෙන අගෝස්තු මස පළමු වැනිදා සිට බවයි.

මේ වන විට රටවල් 25කට පමණ ට්‍රම්ප් නව තිරුබදු ප්‍රකාශයට පත් කරමින් ලිපි යවා ඇති අතර පෙරේදා දිනයේදී පමණක් රටවල් 14කට අදාලව තීරු බදු ලිපි යවා තිබුණා.

ඊයේ දිනයේදී ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍ය වේදිකාව තුළ සටහනක් තබමින් නිවේදනය කළේ පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා, ඇල්ජීරියාව, ලිබියාව, ඉරාකය සහ ශ්‍රී ලංකාව යන තවත් රටවල් හතක් ඉලක්ක කරගනිමින් ලිපි යවන බවයි.

ඒ අනුව ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව යන රටවලට 30%ක තීරුබද්දක් නියම වූ අතර බෲනායි සහ මෝල්ඩෝවා සඳහා පැනවූ තීරුබද්ද 25%ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙරටට පනවා තිබූ 44%ක ඉහළ තීරු බද්ද අඩු කර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාව අමෙරිකාව ඉලක්ක කරගනිමින් තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවට වන අතර එය දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවල මෙන්ම රාජතාන්ත්‍රික මැදිහත්වීම්වල ඵලදායි ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර ලංකා වානිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් ක‍රමින් පවසන්නේ එක්සත් ජනපදය තීරු බදු අඩුකිරීම වැදගත් පියවරක් බවයි.

44% සිට 30% දක්වා තීරුබදු අනුපාතය අඩු කිරීම, ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය කලාපීය තරඟකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගත් ඵලදායී සහ වැදගත් පළමු පියවරක් ලෙස සලකන බව ලංකා වානිජ මණ්ඩලය පෙන්වා දෙනවා.

අගෝස්තු 1 වන විට තවදුරටත් මෙම බදු ප්‍රතිශතයන් අඩු කිරීමක් ලබාගැනීම සඳහා එක්සත් ජනපද පරිපාලනය සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට මෙය දිරිමත් කිරීමක් බව වානිජ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සදහන්.

විශේෂයෙන් කලාපීය සම කාලීන මිතුරන් කිහිප දෙනෙකු ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම ප්‍රතිශතයන් පහළ දමා ගැනීමේ අවස්ථාවක් ඇති බවද එම මණ්ඩලයේ අදහසයි.

ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් මේ සම්බන්ධයෙන් රජයේ උත්සාහයන්ට සහාය වීමට ලංකා වාණිජ මණ්ඩලය සූදානම් බවද අදාල නිවේදනයේ දැක්වෙනවා.

Share This