ඇෆ්ගන් මාධ්‍ය ආයතන 318 ක් වැසේ

ඇෆ්ගන් මාධ්‍ය ආයතන 318 ක් වැසේ

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ගතවූ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 318 ක් වැසී ගොස් මාධ්‍යවේදීන් 2735 දෙනෙකුට පමණ රැකියා අහිමිව ඇති බව අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පවසනවා.

එම සම්මේලනයට අනුව, ඇෆ්ගනිස්ථානයේ පළාත් 34 න් 33 කම මාධ්‍ය ආයතන වැසී යාමේ සිදුවීම් වාර්තා වන අතර රූපවාහිනී නාලිකා 51 ක් ගුවන් විදුලි නාලිකා 132 ක් සහ අන්තර්ජාල මාධ්‍ය ආයතන 49 ක් ඒ අතර වනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට පෙර එරට තුළ ප්‍රකාශයට පත් කළ පුවත්පත් සංඛ්‍යාව 114 ක් වුවත් මේ වනවිට එය 20 ක් දක්වා පහළ බැස ඇති බව ද සදහන්.

තලේබාන් පාලනයට පෙර එරට තුළ 5069 ක පමණ පිරිසක් මාධ්‍යවේදින් ලෙස කටයුතු කළත් මේ වන විට එම සංඛ්‍යාව 2334 ක් දක්වා අඩුවී තිබෙනවා.

විශේෂයෙන්, මාධ්‍යවේදිනියන්ගෙන් සියයට 70 කට පමණ රැකියා අහිමි වී ඇති අතර මේ වනවිට එරට මාධ්‍යවේදිනියන්ගේ සංඛයාව 234 ක් දක්වා පහළ බැස ඇති බව ද සදහන්.

Share This