ඇෆ්ගන් වැසියන් ජල අර්බුදයක

ඇෆ්ගන් වැසියන් ජල අර්බුදයක

තලෙයිබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ වෙසෙන සාමාන්‍ය ජනතාව දරුණු ජල හිඟයකට මුහුණ පා ඇති බව වාර්තාවනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට පවුල්වලින් සියයට 79 කට පමණ ප්‍රමාණවත් පරිදි ජලය නොලැබෙන බවයි.

ඒ හේතුවෙන් වැසියන්ගේ පවිත්‍රතා කටයුතු හා ආරක්ෂිත ජල අවශ්‍යතා සපුරා ගැනීම අභියෝගයක් වී ඇතැයි UNICEF අරමුදල සිය නවතම සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙනවා.

වසර ගණනක් පුරා ඇෆ්ගනිස්ථානය තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය සහ දේශපාලන අර්බුද වැනි දෑ ජල ගැටළුවට මග පාදා ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.

එරට බොහෝ ප්‍රදේශවල පවතින ළිං සිදී ගොස් ඇති අතර ජනතාවට පිරිසිදු ජලය සැපයිමේ අර්බුදයකට තලේබාන් සංවිධානය මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය තුළ පවතින ජල හිඟය සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජීවන බර උසුලා ගැනීමට නොහැකිව සිටින ඇෆ්ගන් වැසියන්ට ජල හිඟය තවත් ගැටළු නිර්මාණය කර දී ඇතැයි ද විදෙස් මාධ්‍යයන් හි සඳහන්.

කුසගින්න, දරිද්‍රතාවය, විරැකියාව, ආරක්ෂාව පිළිබඳ පවතින තර්ජන, සෞඛ්‍ය ගැටළු හ අධ්‍යාපනයට ඇති බාධා ඇෆ්ගන් වැසියන්ගේ ජිවිතවලට ඍණාත්මක බලපෑම් එල්ල කර තිබෙනවා.

එමෙන්ම පිරිසිදු ජලය හිඟකම හේතුවෙන් ඇෆ්ගන් ජනතාව අතර බෝවන රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This