ඇෆ්ගනිස්තානයේ වසා දැමූ මාධ්‍ය

ඇෆ්ගනිස්තානයේ වසා දැමූ මාධ්‍ය

වසර 13 ක ඉතිහාසයක් ඇති Jomhor ප්‍රවෘත්ති ඒජන්සිය ඇෆ්ගනිස්තානයේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ අඛණ්ඩව එල්ල වන තර්ජන හමුවේ එම තීරණයට එළඹි බවයි.

දුරකතන ඇමතුම් හා පණිවිඩ ලබාදෙමින් සිය ඒජන්සිය සිදු කරන ආණ්ඩු විරෝධී අන්තර්ගතයන් බෙදාහැරිම සහ පළකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බව ද Jomhor ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම පරිපාලනය සහ නායකත්වය හෙළා දකිමින් සිය වෙබ් අඩවියේ සහ ෆේස් බුක් පිටුවේ පළකර ඇති අන්තර්ගතයන් ඉවත් කරන ලෙස ද පාලනාධිකාරිය බලපෑම් එල්ල කරන බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අනුව සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ඇෆ්ගනිස්තානයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව Jomhor ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ තවත් මාධ්‍ය ආයතන කිහිපයක්ම ඉකුත් දා අත්හිටවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව එරට ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතන 287 ක් පමණ වසා දමා තිබෙනවා.

එමගින් රැකියා අහිමි වූ මාධ්‍යවේදීන් ගණන 6,000 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Share This