ඇෆ්ගනිස්ථානයේ දී අතහැර දැමුණු ‘අමෙරිකානු අවි’ පාකිස්ථානයේ සටන්කාමීන් අතේ?
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගත් අවස්ථාවේ අතහැර දමා ගිය අමෙරිකානු හමුදාවේ ගිනිඅවි සහ යුද උපකරණ පාකිස්ථානයේ සටන්කාමී සංවිධානයක් වන බලුකිස්තාන විමුක්ති හමුදාව අතට ද පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ කරුණු හෙළිවී ඇත්තේ බලුකිස්තාන විමුක්ති හමුදා සාමාජිකයන් විසින් පසුගියදා නොෂ්කි සහ පන්ජ්ගුර් යන ප්‍රදේශවල පිහිටි හමුදා කදවුරු දෙකකට එල්ල කළ ප්‍රහාර පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදීයි.
මෙම ප්රහාරවලදී පාකිස්ථාන හමුදාව පවා භාවිතා නොකරන දියුණු ගිනිඅවි සහ යුද උපකරණ රැසක් සටන්කාමීන් විසින් භාවිතා කරන ලද බව හෙළිවී තිබෙනවා.
ඒ අතර අඳුරේ නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි අධිතාක්ෂණික ලේසර් උපකරණ ද වූ බව සඳහන්.
ඒෂියා ටයිම්ස් වාර්තාවක් මගින් අනාවරණය කර ඇති ආකාරයට මෙම අවි අමෙරිකානු හමුදාව සහ ඇෆ්ගන් ජාතික හමුදාව විසින් අතහැර දමා ගිය ඒවා වනවා.
ඇමෙරිකානු හමුදාව සහ ඇෆ්ගන් ජාතික හමුදාව විසින් තලේබාන් නැගීම හමුවේ නවීන ගිනිඅවි රැසක් ඇෆ්ගනිස්ථානයේ අතහැර දමා ගිය අතර ඒවා දකුණු ආසියාවේ සහ මැදපෙරදිග සටන්කාමී සහ ත්‍රස්තවාදී සංවිධාන වෙත හිමිවීමේ අනතුරක් ඇති බව ආරක්ෂක විශේෂඥයන් අවස්ථා ගණනාවකදීම අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.