ඉතියෝපියානු කුමාරයෙකුගේ දේහය ගැන කළ ඉල්ලීමට බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය

ඉතියෝපියානු කුමාරයෙකුගේ දේහය ගැන කළ ඉල්ලීමට බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය

19 වන සියවසේ වින්ඩ්සර් මාලිගයේ මිහිදන් කර ඇති ඉතියෝපියානු කුමාරයෙකුගේ දේහය ආපසු ලබා දෙන ලෙස කළ ඉල්ලීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Alemayehu කුමරු වයස අවුරුදු හතේදී මව මිය යාමෙන් පසු එක්සත් රාජධානියට කිසිදු සරණක් නැතිව පැමිණි බවයි සඳහන් වන්නේ

ඒ අනුව වික්ටෝරියා රැජින ඔහු කෙරෙහි උනන්දුවක් දක්වා අධ්‍යාපනය සඳහා දායකත්වය දක්වා තිබෙනවා

ඔහු වයස අවුරුදු 18 දී මිය ගිය විට ඔහුගේ භූමදානය සිදු කර ඇත්තේ වින්ඩ්සර් මාලිගයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වනවිට පවුලේ අයට අවශ්‍ය වන්නේ ඔහුගේ දේහය නැවත ඉතියෝපියාවට රැගෙන යාමටයි .

ඒ අනුව Alemayehu කුමරුගේ පරම්පරාවෙන් පැවත එන ෆාසිල් මිනාස් නැමැත්තා බිබිසී පුවත් සේවයට පවසා ඇත්තේ ” ඔහුගේ දේහය ඉතියෝපියානුවන් ලෙස අපට ආපසු අවශ්‍ය වන්නේ ඔහු ඉපදුණු බ්‍රිතාන්‍ය නොවන නිසා” බවයි

මේ පිළිබඳව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ Alemayehu කුමරුගේ දේහය ඉවත් කිරීම වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ තැන්පත් කර ඇති අනෙක් දේහයන් කෙරෙහි බලපා හැකි බවයි.

එමෙන්ම “එහි තැන්පත් කර ඇති අනෙක් අයගේ දේහයන්ට බාධාවක් නොවන පරිදි කුමරුගේ දේහය ගොඩගැනීමට නොහැකි වනු ඇති බවයි” ඔහු සඳහන් කර තිබෙනවා

Alemayehu කුමරුගේ මතකයට ගෞරව කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දේවස්ථානයේ බලධාරීන් සංවේදී වන නමුත් මියගිය අනිත් අයගේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ටද ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

අතීතයේ දී රාජකීය ගෘහය විසින් දේවස්ථානය නැරඹීමට ඉතියෝපියානු නියෝජිතයන්ගෙන් ඉල්ලීම්වලට ඉඩ සලසා දී තිබෙනවා

1862 දී, අධිරාජ්‍යය ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස, කුමරුගේ පියා වූ II Tewodros අධිරාජ්‍යයා එක්සත් රාජධානිය සමග සන්ධාන ගතවීමට අපේක්ෂා කළ නමුත්, ඔහු ඉදිරිපත් කරන ලිපිවලට වික්ටෝරියා රැජිනගෙන් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ .

මෙයින් කෝපයට පත් වූ අධිරාජ්‍යයා ඇතැම් යුරෝපීයයන් මෙන්ම බ්‍රිතාන්‍ය කොන්සල්වරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් බවයි ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ .

පසුව මොවුන් මුදවා ගැනීම සඳහා 13,000 ක් පමණ බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු භටයන් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හමුදා මෙහෙයුමක්ද සිදු කර ඇති අතර
මෙම බළකායට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ නිලධාරියකු ද ඇතුළත්ව සිට තිබෙනවා

1868 අප්‍රේල් මාසයේදී ඔවුන් උතුරු ඉතියෝපියාවේ Maqdalaහි පිහිටි Tewodros අධිරාජ්‍යයාගේ කඳුකර බලකොටුව වටලා පැය කිහිපයකින් තම යටතට පත් කර ගනු ලැබුවා

Tewodros අධිරාජ්‍යයා බ්‍රිතාන්‍යයන්ගේ සිරකරුවෙකු වීමට වඩා සිය දිවි නසා ගැනීමට එහිදී තීරණය කර තිබෙනවා

ඔහුගේ සිය දිවි නසා ගැනීම Tewodros අධිරාජ්‍යයාගේ ජනතාව අතර වීර චරිතයක් බවට පත් කළ ක්‍රියාවක් බවද සඳහන් වනවා

සටනින් පසු බ්‍රිතාන්‍යයන් සංස්කෘතික හා ආගමික පුරාවස්තු දහස් ගණනක් කොල්ලකෑ බවට චෝදනා එල්ලවන අතර එයට රන් ඔටුනු, අත්පිටපත්, මාල සහ ඇඳුම්ද ඇතුළත් වූ බවයි ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ

ඉතිහාසඥයින් පවසන්නේ අද යුරෝපීය කෞතුකාගාර සහ පුස්තකාලවල මෙන්ම පුද්ගලික එකතුවලද මේවා දක්නට ලැබෙන බවයි

බ්‍රිතාන්‍යයන් එකළ Alemayehu කුමරු සහ ඔහුගේ මව වන Tiruwork Wube අධිරාජිනිය ද තම රටට රැගෙන ගොස් තිබෙනවා

මොවුන් රැගෙන එන ගමනේදී Tiruwork Wube අධිරාජිනිය මිය ගොස් ඇති අතර 1868 ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසුව, කුමරුගේ තත්ත්වය පිළිබඳව වික්ටෝරියා රැජිනගේ අවධානය යොමු වීමෙන් පසු එංගලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ අයිල් ඔෆ් වයිට් හි රැජිනගේ නිවාඩු නිකේතනයේදී මුණ ගැසුනු බවයි පැවසෙන්නේ

එහිදී ඇය ඔහුට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට එකඟ වූ අතර ඉතියෝපියාවේ සිට කුමරු සමග පැමිණි පුද්ගලයා වූ කපිතාන් ට්‍රිස්ට්‍රම් චාල්ස් සෝයර් ස්පීඩිව කුමරුගේ භාරකාරයා ලෙස පත් කර තිබෙනවා

පසුව කැප්ටන් ස්පීඩි කුමරුව ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති අතර විධිමත් අධ්‍යාපනයක් ලැබිය යුතු බවට තීරණය වීමෙන් පසු බ්‍රිතාන්‍ය රජයේ රග්බි පාසලට ඇතුළත් කරනු ලැබුවා

Alemayehu කුමරුගේ රග්බි පාසලට ඇති අකමැත්ත නිසාවෙන් පසුව සැන්ඩ්හර්ස්ට් හි රාජකීය හමුදා විද්‍යාලයට ගිය අතර එහිදී ඔහුට හිරිහැරවලට ලක් වීමට සිදුවූ බවයි සඳහන් වන්නේ

අවසානයේදී, Alemayehu කුමරු පෞද්ගලිකවම අධ්‍යාපනය හදාරා තිබෙනවා

නියුමෝනියාව වැළඳීමෙන් කුමරු මිය ගිය බවට වරෙක වාර්තා වී ඇති නමුත් තවත් අවස්ථාවකදී ඔහු වස පානය කර ඇතැයි සිතා ප්‍රතිකාර දීම නැවතූ බවද සඳහන්

1879 දී කුමරු මිය ගිය අතර වික්ටෝරියා රැජින ඔහුගේ මරණය ගැන ඇගේ දිනපොතේ ද සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා

පසුව ඇය ඔහුගේ දේහය වින්ඩ්සර් මාලිගයේ තැන්පත් කිරීමට කටයුතු කළා.

2007 දී ඉතියෝපියාවේ එවකට ජනාධිපති වූ Girma Wolde-Giorgis විසින් දේහය ආපසු එවන ලෙස දෙවන එලිසබෙත් රැජින වෙත ඉල්ලීමක් යැවූ නමුත් එම උත්සාහයන්ද ඵල රහිතවී තිබෙනවා .

Share This