ඉතිහාසයේ පළමු වරට බඩ ඉරිඟු සඳහා සහතික මිලක්

ඉතිහාසයේ පළමු වරට බඩ ඉරිඟු සඳහා සහතික මිලක්

නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමත්, අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්,ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

බඩ ඉරිඟු ගොවීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බවද , පිරිවැය අඩු කරමින් ගොවීන්ට වැඩි ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවද පෙන්වා දුන්නේය.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ අතර ඒ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

සහනාධාර අවශ්‍ය නොවන බවද එය අක්‍රමිකතාවලට මඟපාදන බවද, තමන්ට ස්වාධීනව ශක්තිමත්ව නැඟී සිටිමට බාධාවක් බවද පෙන්වා දුන් ගොවීහු තමන්ට වෙළෙඳ පොළෙන් සහන මිලකට පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටියා.

වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තුෂාර වික්‍රමාරච්චි ඇතුලු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් හා බඩ ඉරිඟු ගොවීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Share This