ඉදිරියේදී මෙරට නීති පද්ධතියට වෙනස්කම් රැසක්

ඉදිරියේදී මෙරට නීති පද්ධතියට වෙනස්කම් රැසක්

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද ඇතුළුව ඔඩුදුවා ඇති අල්ලස, වංචාව, දූෂණය සහ කොමිස් ගැනීම වැළැක්වීම වෙනුවෙන් දූෂණ විරෝධී පනත රජය විසින් සම්මත කරගෙන ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි එය සකස් කර ඇති අතර අල්ලස් කොමිෂන් සභාවට බොහෝ බලතල සහ ස්වාධීනත්වයක් ලබාදී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩා සහ ලිංගික අල්ලස් සම්බන්ධව ද නව නීති හඳුන්වාදී තිබෙන බව එහිදී පෙන්වාදුන්නා.

එමෙන්ම නාමිකව පැවති වත්කම් සහ බැරකම් නීතිය වර්තමානය වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා එමඟින් රටේ සියලුම පුරවැසියන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිෂන් සභාවට භාරදිය යුතු බවයි ප්‍රකාශ කළේ.

ඔවුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර නඩු භාණ්ඩ ඉවත් කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද නව නීතී සකස් කර ඇති බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකාරියක් සකස් කර ඇති බව ප්‍රකාශ කළ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විවාහ සම්බන්ධයෙන් ද නව පනතක් ඉදිරිපත් කර ඇති බවයි පෙන්වාදුන්නේ.

මීට අමතරව මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් පොදුවේ එකඟවිය හැකි වෙනස්කම් පමණක් ඉදිරිපත් කොට එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර කාති උසාවිය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බැවින් එහි වෙනස්කම් දෙකක් සිදු කිරීමට ද යෝජනා කර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Share This