ඉදිරියේ දී කොවිඩ් නව ප්‍රභේද බිහිවීමේ හැකියාවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි (වීඩියෝ)
මෙරට තුළ කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී සංකූලතා සහ මරණ වැඩි, නව ප්‍රභේද බිහිවීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ, මෙම අවදානම අවම කරගැනීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම වඩාත් වැදගත් බවයි.
මේ අතර, කොවිඩ් 19 දෛනික ආසාදිතයින් වාර්තා වීම සුළු අඩුවක් පෙන්නුම් කරමින් ඊයේ ආසාදිතයින් 695 දෙනෙකු වාර්තා වුණා.
එම සියලු ආසාදිතයින් වාර්තා වී තිබුණේ අලුත් අවුරුදු පොකුරට අදාළවයි.
මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 579,134 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 547,182 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 17,218 ක්.
මේ අතර, තවත් කොවිඩ් 19 ආසාදිතයින් 14 දෙනෙකු පෙරේදා මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමඟ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 14,734 දක්වා ඉහළ ගියා.
කොවිඩ් 19 මර්දනය සඳහා මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මේ වනවිට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයින පුරා මධ්‍යස්ථානවලදී සිදු කෙරෙනවා.
සෞඛ්‍ය අංශ පැවසුවේ, මේ වනවිට පුද්ගලයින් 2,346,182 දෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති බවයි.
කොවිඩ් මර්දනය සඳහා පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයින් 15,966,704 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක්කළ පුද්ගලයින් සංඛ්‍යාව 13,808,331 ක්.