ඉන්දියාවේ නිල සංචාරයකට කථානායකට ආරාධනා

ඉන්දියාවේ නිල සංචාරයකට කථානායකට ආරාධනා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති එම හමුවේදී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙරටේ ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නැවතත් තහවුරු කර ඇති අතර දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කථානායකවරයාට ආරාධනයක් ද සිදු කර ඇති බව සඳහන්.

පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමේ ඉන්දියාවේ සූදානම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

10 වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා ගරු කථානායකතුමාගේ මග පෙන්වීම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර ඇති මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රතිපත්ති සම්පාදනයේ දී කාන්තාවන්ගේ භූමිකාව ඉහළ නැංවීම මෙන්ම අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තුවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව සඳහන්.

Share This