ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය මුලික එකඟතාවකට

ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය මුලික එකඟතාවකට

ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය මේ වන විට, මෙරට ණය වෙනුවෙන් වසර 10ක සහන කාලයක්ද, ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද ණය ආපසු ගෙවීම වෙනුවෙන් තවත් වසර 15ක කාලයක්ද වෙනුවෙන් මුලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව සිය මූල්‍ය සහතිකය ලබාදීමත් සමග චීන ආනයන අපනයන බැංකුව විසින් IMF සහ ශ්‍රී ලංකාව වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, වසර 02ක කාලයකට ණය ආපසු නොගෙවා සිටීමට ශ්‍රී ලංකවට අවස්ථාව ලබාදීමට, තම බැංකුව කැමැත්ත පලකරන බවයි.

චීනයෙන් ලබාදී ඇති සමස්ත ණය ප්‍රමාණය බිලියන 07 ඉක්මවා ඇති අතර ආනයනය අපනයන බැංකුවෙන් ලබාදී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 03ක් පමණ වනවා.

2022 අප්‍රේල් මාසයේදී IMF සමග ශ්‍රී ලංකාව මුලික වටයේ සාකච්ඡා ආරම්භ කළ අතර, සැප්තැම්බර් මාසයේදී IMF කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ, ඩොලර් බිලියන 2.9ක ණය සහනයක් ලබාගැනීමට එකඟතාවකට පැමිණියා.

ඒ අනුව, එම සාකච්ඡා සඳහා, ආරම්භයේ සිට මේ දක්වා මාස 09කට වැඩි කාලයක් ගතව ඇති අතර සාකච්ඡා ආරම්භයේදීම IMF විසින් පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාවට ණයක් අනුමත කරදීමට නම්, ශ්‍රී ලංකාව තවදුරටත් සිය විදේශීය ණය ආපසු ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කර ඇති බැවින්, අනිවාර්යයෙන්ම මෙරටට ණය ලබාදී ඇති ද්විපාර්ශ්වික ණයහිමියන්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකළයුතු බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් තමන් ද්විපාර්ශ්වික ණයහිමියන්ට ගෙවිය යුතුව ඇති ණය ගණනය කළ අතර එම ගණනයට අනුව මේ මොහොතේ කැඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරගතයුතුව ඇති ණය ප්‍රමාණය සටහන් වූයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 14ක් වශයෙනි.

විශේෂත්වය වූයේ, එම ණය තොගයෙන් චීනයට අයත් කොටස සියයට 52ක ප්‍රතිශතයක් ගැනීමයි.

කෙසේවෙතත් ගෙවීගිය මාස 09ක කාලය ඇතුලත, ශ්‍රී ලංකාව ණය වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස කරන සෑම ඉල්ලිමකදීම “චීනය ශ්‍රී ලංකාවේ සමීපතම මිත්‍රයෙක්. අපි සෑම විටම ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සුදානමින් සිටිමු” යන ප්‍රකාශය චීනය විසින් සිදුකර තිබුණා.

වචන හෝ පොරොන්දු මතින් ශ්‍රී ලංකාවේ වත්මන් බරපතල ආර්ථික අර්බුදය නොවිසඳෙන අතර සලාක වශයෙන් ශ්‍රී ලංකාවට සහල් සහ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් සපයමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහන සැලසීමට යම් පියවර ගන්නා බවද පෙන්වාදීමට ඔවුන් උත්සාහ දැරුවා.

මීට සති දෙකකට පමණ පෙර, IMF වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර කළයුතු බවට, සිය වගකීම සිහිපත් කරදුන් මෙරට එක්සත් ජනපද තානාපතිනිය සමග කොළඹ චීන තානාපති කාර්යාලය අර්බුදකාරී නිවේදන නිකුත් කිරීමක ද යෙදුණා.

2022 ආරම්භයේදී රට අර්බුදයට ගමන් කරමින් සිටියදී, ඉතිහාසයේ කෙටි කාලයක් තුල මෙරටට ලබාදුන් වැඩිම සහන ප්‍රමාණය වාර්තා කරමින්, ඉන්දියාව මාස 05ක් වැනි කාලසීමාවක් ඇතුලත ඩොලර් බිලියන 04කට ආසන්න ණය සහන ශ්‍රී ලංකාවට ලබාදුන් අතර මෙතෙක් ලබාගත් ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර දීම්, අත්‍යවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ණය රේඛාවන් අනුමත කිරීම් සහ ආහාර හා ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාවන ණය මුදල් ඊට ඇතුලත් වුණා.

ඉන්දියාව IMF ණය වැඩසටහන වෙනුවෙන් පළමුවෙන් සිය මූල්‍ය සහතිකය හෙවත්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමටද ඉන්දියාව පසුගිය ජනවාරි මාසයේ අවසන් සතියේදී කටයුතු කර තිබෙනවා.

ඉන්දියාවේ එම පියවර අනුව යමින්, ජපානය සහ ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 22කින් සමන්විත ‘පැරිස් සමාජයද’ සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට මේ වන විට කැමැත්ත පළකර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය මුදල පිළිබඳව පසුගිය ජනවාරි 31වැනිදා මැතිවරණ ප්‍රචාරක රැළියක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව විවේචනාත්මක අදහස් ද පළ වෙමින් ඇති අතර ශ්‍රී ලංකාවට මේ මොහොතේ IMF ණය සහනය නොමැතිව අන්තර්ජාතික ප්‍රජාව සමග ගනුදෙනු කිරීමට නොහැකි බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙනවා.

රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනය කිරීම සඳහා තෝරාගත යුතුව තිබූ අවසන් තුරුම්පුව වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලයි(IMF). ඒ අනුව
අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් ‘සැලකිවයුතු සහ පොදු සහන ක්‍රමවේදයක්’ වෙනුවෙන් සියලුම ණයහිමියන් එකඟ වියයුතු බවටයි.

Share This