ඉන්දියාව සහ Twitter මත ගැටුමක

ඉන්දියාව සහ Twitter මත ගැටුමක

Twitter සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Jack Dorsey ජනප්‍රිය YouTube වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ Twitter සමාජ ජාලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ කාලය තුළ විදේශ රජයන්ගෙන් එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් එම වැඩසටහනේ දී විමසීමක් සිදු කර ඇති බව සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් Jack Dorsey ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව, නයිජීරියාව සහ තුර්කිය Twitter ගිණුම් සීමා කිරීමේ එම රටවල නියෝගවලට අනුකූල නොවන්නේ නම් Twitter අත්හිටුවන බවට තර්ජනය කර සිටි බවයි.

ඒ අතර ඉන්දියාවේ ගොවීන් සිදු කළ විරෝධතාවක් අතරතුර දී එරට රජයේ බලධාරීන්ගෙන් Twitter සමාගමට බලපෑම් එල්ල වූ බව විශේෂත්වයක් ගන්නා බව Jack Dorsey එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය විසින් කෘෂිකාර්මික ලිබරල්කරණ සඳහා ගෙන ආ නීති 3කට එරෙහිව නවදිල්ලි අගනුවර ආසන්නයේ දහස් ගණන් ගොවීන් 2021 වසරේදී කඳවුරු බැඳගෙන සිටියා.

එම විරෝධතා අතරතුර රජය ඊට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන ගිණුම් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන ලෙස ඉන්දීය රජය සිදු කළ බොහෝ ඉල්ලීම්වලට Twitter සමාගමට මුහුණ දීමට සිදුවූ බවයි Jack Dorsey, YouTube වැඩසටහන සමග එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ.

Twitter සමාගම වෙත එල්ල වූ පීඩනය පිළිබඳව හෙළි කරමින් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව තුළ Twitter අත්හිටුවන බව සහ “අපි ඔබේ සේවකයින්ගේ නිවාස වටලනවා” යනුවෙන් ඉන්දීය රජයේ බලධාරීන් ප්‍රකාශ කළ බවයි.

මේ අතර පසුගිය වසරේ එලොන් මස්ක්ට අමෙරිකානු ඩොලර් බිලියන 44කට විකුණා දැමූ Twitter හි Jack Dorsey තවදුරටත් සේවය නොකරන අතර
නවදිල්ලි පාලනය විසින් Twitter සමාගම සහ පොදුවේ සමාජ මාධ්‍යයන් සමග ඇති කරන බලපෑම පිළිබඳව ද අලුත් කතාබහක් මතුව තිබෙනවා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් Twitter ඔස්සේම ප්‍රතිචාර දක්වා ඇති අතර Jack Dorsey සහ Twitter සමාගම “ඉන්දියාවේ නීතිය නැවත නැවතත් අඛණ්ඩව උල්ලංඝනය කිරීම්” සිදු කර ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.

2021 වසරේ දී ඉන්දියාව සමාජ ජාල මත නව නීති මෙන්ම ප්‍රචණ්ඩකාරී, නොමඟ යවනසුළු හෝ වෙනත් විරුද්ධවාදී අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා වන නීති ද පනවනු ලැබුවා.

කෙසේවෙතත් ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරය පවසන්නේ Jack Dorsey ප්‍රකාශ කර ඇති ප්‍රබන්ධවලට වඩා සත්‍ය කරුණු ඉතා වෙනස් වන බවයි.

එමෙන්ම විරෝධතා අතරතුර බොහෝ වැරදි තොරතුරු සහ සත්‍ය වශයෙන්ම ජන සංහාර පිළිබඳ ව්‍යාජ වාර්තා පවා පළ වූ අතර එවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට Twitter සමාගම බැඳී සිටින බව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර්ද අවධාරණය කර තිබෙනවා.

ඉන්දියාව ක්‍රියාත්මක කළ නව තොරතුරු තාක්‍ෂණ නීතිවලට අනුකූල වීමට Twitter සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී Twitter සමාගම සහ ඉන්දීය රජය අතර බරපතල මත ගැටුම් ඇති වුණා.

ඉන්දියාව එහිදී චෝදනා කළේ Twitter සමාගම හිතාමතාම තම ඉල්ලීම් නොසලකා හැරි බවයි.

Share This