ඉෂාරා – ගම්පහ ඔස්මන් ගැන සොයන්න සවිකළ කැමරාවක් සොයාගනිද්දී තවත් තොරතුරු රැසක් එළියට (VIDEO)

ඉෂාරා – ගම්පහ ඔස්මන් ගැන සොයන්න සවිකළ කැමරාවක් සොයාගනිද්දී තවත් තොරතුරු රැසක් එළියට (VIDEO)

රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි විසින් කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ උපදෙස් මත ගණේමුල්ල සංජීව ඝාතනයට පෙර ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර නමැත්තාගේ නිවසට ප්‍රවිෂ්ඨ වන මාර්ගය ඉදිරිපිට කැමරාවක් සවි කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේගේ තවත් ඝාතන ඉලක්කයක් බවට පත් වූ ගම්පහ ඔස්මන් නමැත්තා නිවසින් පිටතට යන වේලාවන් දැනගැනීම සඳහා එම කැමරාව සවිකර තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන්දිනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

ඒ අනුව පද්මේ නමැත්තාගේ දුරකථනයේ තිබූ වීඩියෝවක් පිළිබඳ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන ඇත්තේ එම වීඩියෝව ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර නමැත්තාගේ නිවසට ප්‍රවිශ්ඨ වන මාර්ගයේ දර්ශනයක් බවයි.

එම වීඩියෝව කාන්තාවක් විසින් ලබාගත් එකක් බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇති බව සඳහන්.

පද්මේ ඇතුළු පිරිසගෙන් ගණේමුල්ල සංජීව ඝාතනය, කජ්ජා ඝාතනය ඇතුළු තවත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර ඉකුත්දා තවත් ප්‍රධාන පෙළේ අපරාධකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසක් ද නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගෙන් දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, එම ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාගේ නිවසට ප්‍රවිශ්ඨ වන මාර්ගයේ වීඩියෝව ලබාගෙන ඇත්තේ ඇය විසින් බවයි.

අදාළ මාර්ගය අසල ගසක ඉතා සූක්‍ෂම අයුරින් කැමරාවක් සවිකර එම වීඩියෝව ලබාගෙන ඇති බව සඳහන්.

ගණේමුල්ල සංජීව ඝාතනයට පෙර සතියක පමණ කාලයක් එම කැමරාව ගසෙහි සවිකර තිබී ඇති බවත්, අලුයම 2 ත් 3 ත් අතර කාලය තුළ පවර්බෑන්ක් එකක් උපයෝගී කරගෙන කැමරාවෙහි බැටරිය අරෝපණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ලබාගත් වීඩියෝ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට යොමුකර ඇති බවත්, ඔස්මන් නමැති ව්‍යාපාරිකයා නිවසින් බැහැරව යන ආකාරය දැනගැනීමේ අරමුණින් එය සිදුකර ඇති බවත් සඳහන්.

අවස්ථා 20 කට වැඩි ප්‍රමාණයකදී ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පද්මේ විසින් උත්සාහ දරා තිබී ඇති අතර, ඒ සඳහා පස්දේවා නමැත්තාගේ ද සහය ලබාගෙන තිබුණා.

ඊට අමතරව නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි සමඟ අත්අඩංගුවට ගත් ගම්පහ බබා නමැත්තා ද ඔස්මන් නමැත්තා ඝාතනයට උත්සාහ දරා තිබුණා.

මේ අතර, කැලණිය අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන ගම්පහ බබා නමැත්තාගෙන් අනාවරණ වූ තොරතුරු මත කෙරවළපිටිය අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ කොන්ක්‍රීට් කාණුවක සඟවා තිබූ ජීව උණ්ඩ 79 ක් සොයාගැනීට හැකිව තිබෙනවා.

ගම්පහ අවට ප්‍රදේශවල සිදු වු අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවට අනාවරණ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඊට අමතරව ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන්ද තවදුරටත් ප්‍රශ්න කෙරෙන අතර ඇය විසින් ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදී සොයාගත් ජංගම දුරකථනයේ දත්ත උපයෝගී කරගෙන පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඇය සබඳතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සහ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

අදාළ සැකකාරියට මෙරට රැඳී සිටියදී නවාතැන් පහසුකම් ලබාදුන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, ඒ අනුව එලෙස නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් අද පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළ හරහා විදෙස් රටකට පලා යාමට තැත් කළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීිමට ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කළා.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අදාළ සැකකරු සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ දැරීමේදී ගුවන් තොටුපළ පරිශ්‍රයේ සවිකර ඇති මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය අදාළ සැකකරු හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Share This