
උතුරු – නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවට ආණ්ඩුවෙන් චෝදනා
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින්, ඔවුන් අතර කැලඹීමක් ඇති කර පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා චෝදනා කරනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට අද(17) එක්වෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හෙට (18) හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියා.
රට පුරා තිබෙන හමුදා කඳවුරු ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බවත් , මුලතිව්, ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය කඳවුරු ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූයේ ඒ අනුව බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නා.
මෙම හමුදා කඳවුර තුළට අනවසර පුද්ගලයෙන් 05 දෙනෙකු ඇතුල් වී ඇති බවත්, එම පිරිස පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති අතර , මෙම පුද්ලයින් පලවාහැරීමේදී ඉන් එක් අයෙක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියගොස් තිබෙන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ දියේ ගිලී මිය ගිය පුද්ගලයාට කර ඇතැයි කියන යම් පහරදීමක් සම්බන්ධයෙන් යම් යම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී තිබීම අනුව මේ වන විට හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි කියමින් මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.