එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු ජනපතිවරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු ජනපතිවරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බව සඳහන්.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනපතිවරයාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් කළ Marc-André Franche මහතා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයද ඇගයීමට ලක් කළ බවයි වාර්තා වන්නේ.

මහජන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බවද මෙහිදී පෙන්වාදුන් නේවාසික සම්බන්ධීකාරකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රයත්නයට එක්සත් ජාතීන්ගේ සහාය ලබාදෙන බවට සහතික වී තිබනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩ පිළිවෙළ පිළිබඳවද මෙහිදී ප්‍රශංසාව පළ කළ Marc-André Franche මහතා එම ප්‍රත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන බවයි ප්‍රකාශ කර සිටියේ.

එසේම ප්‍රජාව අතර ජාතික සාමය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුල පිරිම් ද පැසසුමට ලක් කළ නේවාසික සම්බන්ධීකාරකවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම ද අගය කර සිටියා.

රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහය දෙන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This