එක ගම්පහට දෙක කොළඹට- කොවිඩ්  වේගයෙන් පැතිර යන හැටි මෙන්න

එක ගම්පහට දෙක කොළඹට- කොවිඩ් වේගයෙන් පැතිර යන හැටි මෙන්න

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්  පැතිරීම බොහෝ සේ  ඉහළ ගොස් ඇතැයි  කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඊට පසු වැඩිම කොවිඩ් පැතිරීමක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද ඇය සඳහන් කර සිටියා .

ඔමික්‍රෝන්  කොරෝනා වෛරස  ප්‍රභේදය නිසා කොවිඩ්  පැතිරීම මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  බොහෝ දෙනකුට රෝග ලක්ෂණ  නොමැතිව රෝගය වැළඳීම මෙවර විශේෂිත ලක්ෂණය බවද  සඳහන් කරනවා

එලෙස රෝග ලක්ෂණ මතු නොවූවත් වයස්ගත පුද්ගලයන්ට සහ විවිධ ආබාධවලින් පෙළෙන අයට  මෙමගින් මාරාන්තික අවදානමක් මතු කරනු ඇති බවත්  රට සාමාන්‍යවූ හෙයින්  ජනතාවද සාමාන්‍ය ආකාරයට කටයුතු කිරීමට පටන් ගැනීම නිසා කොවිඩ්  පැතිරීම මේ ආකාරයට වේගවත් වී ඇති බවත් ඇය පවසා සිටිනවා.

රෝහල් ගත කෙරෙන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින්  පමණ වැඩිවී තිබෙන බවත් ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 8 කින් පමණ වැඩිවී ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා

බොහෝ ජනතාව මූලික සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කිරීම කොවිඩ්  පැතිරීමේ වේගය වැඩිවීමට ප්‍රධාන හේතුවක්වූ බව සඳහන්  කරන රාජ්‍ය අමාත්‍යවරිය විශේෂයෙන්ම  මංගල උත්සව කොවිඩ්  පැතිරීම වේගවත් කරන ප්‍රධාන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇතැයිද  පවසා සිටිනවා.

පවතින තත්ත්වය යහපත් නැති හෙයින් ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගෙන යාම යනාදී වූ සෞඛ්‍ය නීති පිළිපදිමින් දිගටම කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන බවද  ඇය සඳහන් කරනවා.

Share This