එ.ජා. කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ විමල් ගේ නඩුව ජනවාරි 19 ට කල් යයි

එ.ජා. කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ විමල් ගේ නඩුව ජනවාරි 19 ට කල් යයි

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (10) නියෝග කළා.

නඩුව කැඳවු අවස්ථාවේදි කුරුඳුවත්ත පොලිසිය සාක්ෂි මෙහෙය වීමෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කළා.

අද අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නේ සිද්ධියට අදාලව 9 වන සාක්ෂිකරු වන අපරාධ කාර්යාල කොට්ඨාසයේ ඡායාරූප භාර පොලිස් පරික්ෂක නිලධාරීයායි.

සිද්ධියට අදාලව 6 වන සහ 7 වන සාක්ෂිකරු නේවාසිකව ජයවර්ධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණිමට නොහැකි වූ බව විමර්ශන නිලධාරීයා දන්වා සිටියා.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබෙනවා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබුවා.

විත්තිකරුවන් වන හිටපු ඇමති විමල් වීරවංශ , වීරකුමාර දිසානායක , ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුවේ සාක්ෂිකරු වන පොලිස් පරීක්ෂක ඉන්දික අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ මහා මාර්ගය අවහිර වන ආකාරයෙන් මෙම සැකකරුවන් ඇතුලු 600ක පමණ පිරිසක් උද්ඝෝෂණ‍යක නිරත වූ බවට පෙර නඩු දිනයකදී දැනුම් දී තිබු බවයි.

Share This