
ඔස්ට්‍රේලියා – ඇමරිකා තානාපතිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි සමග සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා පසුගියදා(20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසුණා.
මෙම හමුවිමේ දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳවත් සිහිපත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ කලාපීය සහ බහුපාර්ශ්වික වැඩසටහන්වල වැදගත්කම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළ බවයි.
එසේම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.
ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී ඉල්ලා ඇත්තේ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහායයි.
එමෙන්ම වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ අත්දැකීම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය මතුකර තිබෙනවා.
මේ අතර එදිනම (20) ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චං මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක්ද සිදු වුණා.
මෙම හමුවේ දී ඇමරිකානු තානාපතිනි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර ඇති අතර, ෆුල්බ්රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් අවධාරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගනිමින් සිදු කරනු ලබන එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා.
විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම් – ඉගැන්වීම් පරිසරයක් ගොඩනැඟීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී මතුකර තිබෙනවා.
ඇය එහිදී අවධාරණය කර ඇත්තේ රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කමයි.
මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරි මේනකා නායර් මහත්මිය, ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිසමේ විධායක අධ්යක්ෂ ආචාර්ය පැට්රික් මැක්නමාරා සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ SGBV සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය ද ඇතුළත් වූණා.


