
කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ලොකුම නීති විරෝධී දුම්වැටි තොගය අල්ලයි
රුපියල් කෝටි පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ හරහා ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යැවීම සදහා ගුවන් භාණ්ඩ ගම්මානය ( Cargo Village ) වෙත ගෙනැවිත් තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් ගේ බාරයට ගෙන තිබෙනවා.
මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙන්ම ගුවන් භාණ්ඩ ගම්මානයේ දී සොයාගත් විශාලතම සහ පළමු දුම්වැටි තොගය වීම විශේෂත්වයක්.
මෙම දුම්වැටි තොගය ඩුබායි සිට එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වෙත යැවීම සදහා ” තුවා ” සහ ” ප්ලාස්ටික් කෝප්ප ” ලෙස රේගුවට ප්‍රකාශ කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
රේගු ආඥා පනත අනුව මාර්ගස්ත භාණ්ඩ ශ්‍රී ලංකාව හරහා රැගෙන යන විට ඒවායේ අඩංගු ද්‍රව්‍ය නිවැරදිව රේගුවට ප්‍රකාශ කළ යුතු වනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ 2016 වසරේ දී ශ්‍රී ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතියකට අනුව , නීතිවිරෝධී ලෙස සිදු වන දුම්වැටි සහ ඒ ආශ්‍රිත භාණ්ඩ වල බෙදාහැරීම වැලැක්වීම මේ රටේ නීතියක් බවට පත්ව ඇති බවයි.
ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව ඔවුන්ගේ නීතිවිරෝධී භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ඉඩ නොදෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.