කථානායක හමුවූ ජපාන තානාපති

කථානායක හමුවූ ජපාන තානාපති

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසනවා.

ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදීයි.

එමෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද ජපාන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ හමුවේ දී කථානායකවරයා ඇතුළු ශ්‍රී ලංකා රජය වෙත ජපාන තානාපතිවරයා සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

එහිදී මෙරට ජනතාව වෙත ජපන් රජය විසින් ලබාදී ඇති ව්‍යාපෘති පිළිබඳව සිහිපත් කරමින් ඒ වෙනුවෙන් සිය ස්තුතිය ජපානය වෙත පළකළ කථානායකවරයා දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා – ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජපානයේ සහාය අපේක්ෂා කරන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

මෙම හමුවේදී දූෂණය පිටුදැකීමට රජය ගෙනයන ක්‍රියාමාර්ග, ජාතික සංහිඳියාව ආදී කරුණු පිළිබඳව ද ඇගයීමට ලක්ව ඇති බව සඳහන්.

Share This