
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බව සඳහන් කළා.
2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධන පනතේ යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කර තිබෙන බවත් එය වැරදි සහගත බවත් නීතිඥවරයා පෙන්වාදුන්නා.
සිය සේවාදායකයින් සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන අතර කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් යැයි පෙන්වාදුන්නා.
2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි මස පළමුවනදා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
අදාළ ගැටලුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා.
ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට තමන් සහාය පළ කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වාදුන්නා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණු අතර එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතයි.