
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාවකට අධිකරණයේ දී අකමැති වේ
සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ නීතිඥවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරියගේ නීතිඥවරිය කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කළා.
අධිකරණය එහිදී නියම කළේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලට අදාලව කරුණු සලකා බැලීමට නඩුව ජනවාරි 30 නැවත කැඳවීමටයි.
සිද්ධියට අදාල වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළා.
ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාධීර නමැත්තියක විසින් ගොනුකර තිබු පැමිණිල්ලට අදාල නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබුවා.
විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජෙරුස තාම්බායියා මහත්මිය සඳහන් කළේ සිද්ධියට අදාලව පීතෘත්වය සලකා බැලීමට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.
ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බවත් එය ඔප්පු කිරීම් භාරය ඉල්ලුම්කාරියට පවතින බව එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනීී සිටි නීතිඥ අසේල රැකවල සඳහන් කර සිටියා.
ඒ අනුව වගඋත්තරකරු ඩී.එන්.ඒ. පරීක්ෂාව කිරීම ප්‍රතික්‍ෂේප කරන බවත්, සිද්ධියට අදාලව පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණයට දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වගඋත්තරකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මෙම ඉල්ලුම්කරු ගර්භනීව සිටි අවධියේ වෙනත් ඉන්දීය ගුවන් නියමුවරයෙක් සමග ඡායාරූපද රැගෙන ඇති බවයි.
විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවා අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙනයි.
පැමිණිලිකාර ගුවන් නියමුවරිය හා වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව ජනවාරි 30 වන දින නැවත කැඳවීමට දින නියම කළා.
