
ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ වෙළඳසලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මෙම එක් සැකකරුවෙකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි කාර් රථයේ කරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට ගෙන ගොස් සඟවන ලද වෑන් රථයේ රියදුරු බවයි වාර්තා වන්නේ.
අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු බව සඳහන්.
මෙම දෙවන සැකකරු ඉහත කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 හා 36 වයස්වල පසුවන වැලිපැන්න හා අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලිසිය සිදුකරන බව සඳහන්.