
ක්ෂේත්‍ර රැසක සහයෝගිතා පුළුල් කරමින් චීනයත් පාකිස්ථානයත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි
2026 වසරේ යෙදී ඇති චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා සමග බෙයිජිං හි පැවති සාකච්ඡාවකදීයි.
චීනය සහ පාකිස්ථානය යදම් වැලක් සේ නොබිඳෙන මිතුරන් මෙන්ම පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් ද වන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියා.
පාකිස්ථානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමටත් ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් චීනය අඛණ්ඩ ව සහාය දක්වන බවත් පාකිස්ථානයට ගැළපෙන සංවර්ධන පිළිවෙත් අනුගමනය කිරීමට සහාය වන බවත් මෙහිදී චීන ජනපති අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම චීනයේ පුළුල් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඔස්සේ පාකිස්ථානයට ද සංවර්ධනයේ ප්‍රතිලාභ අත්විඳීමටත් චීනය ආරාධනා කර ඇති බව සඳහන්.
තවද පාකිස්ථානය සමග එක්ව, දෙරට අතර ආර්ථික කොරිඩෝ සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමටත් තම රට සූදානම් බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
Asif Ali Zardari මහතා ද මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර තත්ත්වය කවර ආකාරයෙන් වෙනස් වුවද චීනය සමග රැඳී සිටීමට තම රට කැමැත්තෙන් සිටින බවයි.
එමෙන්ම චීනය තම රට වෙත ලබා දෙන ඉමහත් සහයෝගය වෙනුවෙන් පාකිස්ථානයේ ස්තුතිය පළ කළ ජනාධිපති Asif Ali Zardari මහතා චීනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තම රට අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළා.
මෙම හමුවෙන් අනතුරුව චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව, වෙළඳාම, විද්‍යා හා තාක්ෂණ, ගුවන් විදුලි හා රූපවාහිනි ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට ද රාජ්‍ය නායක දෙපළ එක් වුණා.