
කැනඩාවේ මහජන ආරක්‍ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී එල්.ටී.ටී.ඊ. හිතවාදී ද?
එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබා ගැනීමට සහය පළ කර ඇති බවට ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්‍ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ලවී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකම වාර්තා වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාදීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්ද සංගරී විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවයි.
2016 වර්ෂයේදී හා 2023 වර්ෂයේදී කැනේඩියානු දේශසීමා නියෝජිත ආයතන වෙත එම ලිපි යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටියදී ගැරී ආනන්දසංගරී මෙම ලිපි යොමු කර ඇති අතර අදාළ පුද්ගලයා ඍජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදී පුරවැසිභාවය ලබාදීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්‍ෂේපද කර තිබෙනවා.
මානුෂීය කරුණු පිළිබඳව සලකා බලා හා සෙන්තුරන් සෙල්ලවකුමාර නමැති අදාළ පුද්ගලයාගේ පවුල විසිරීයාමට සාධක පවතින බැවින් ඔහුට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා අදාළ ලිපි මඟින් ඉල්ලීම් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදු කර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සඳහන්.
කැනඩාවේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා වන ගැරී ආනන්දසංගරී මහතා එලෙස ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන පුද්ගලයෙකු බැවින් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලු සහගත බව දැනුම්දී තිබෙනවා.
කැනඩාවේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා වන ගැරී ආනන්දසංගරීගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමක් සිදු කිරීම නුසුදුසුබවයි.
එමෙන්ම අමාත්‍ය ධුරය ලබාගැනීමෙන් අනතුරුව තමන් කිසිවිටෙකත් එවැනි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර නොමැති අතර කැනේඩියානු දරුවෙකු සිටින පුරවැසියෙකුගේ පවුලක් බිඳීයාම වැළැක්වීමේ අරමුණින් තමන් සිදු කළ දැනුම්දීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි ගැරී ආනන්දසංගරී පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි සඳහන් කර ඇත්තේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා කෙරෙහි තමාට තවදුරටත් විශ්වාසය තැබිය හැකි බවයි.