කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ 66 ගැන ඉන්දියාවෙන් පරීක්ෂණ

කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ 66 ගැන ඉන්දියාවෙන් පරීක්ෂණ

ගැම්බියාවේ කැස්සට ලබාදෙන සිරප් වර්ගයක් නිසා සිදුවූවා යැයි සැකකෙරෙන ළමුන් 66 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉන්දීය රජයට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ කැස්සට ලබාදුන් මෙම සිරප් වර්ගය නිසා ඇතිවූ වකුගඩු ආබාධ හේතුවෙන් දරුවන් මියගොස් ඇති බවයි.

මෙම නිෂ්පාදන අලෙවිය නතර කරන ලෙස ද මේ වනවිට නියාමකයින්ට උපදෙස් දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා

සැප්තැම්බර් 29 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම් දීමෙන් පසු ඉන්දියාවේ ජාතික ඖෂධ නියාමකවරයා විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ වන විට මෙම නිෂ්පාදන ගැම්බියාවෙන් හඳුනාගෙන ඇති නමුත් ඒවා අවිධිමත් වෙළඳපල හරහා වෙනත් රටවලට බෙදා හැරිය හැකි බවයි.

කෙසේ වෙතත්, මෙම කැස්ස සිරප් අපනයනය කර ඇත්තේ මෙතෙක් ගැම්බියාවට පමණක් බවත් ඉන්දියාවේ සෞඛ්‍ය ආයතනය විසින් එම සමාගමේ සහ ඉන්දීය බලධාරීන් සමග වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඉන්දීය රජය පවසනවා

රොයිටර් පුවත් සේවයට අනුව උතුරු හර්යානා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම සිරප් නිපදවන සමාගම ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ රටවලට සිය නිෂ්පාදන අපනයනය කරනු ලබන බවද වාර්තා වනවා

ගැම්බියාවේ වෛද්‍ය නිලධාරීන් ළමුන් බොහෝ දෙනෙකුට බරපතල වකුගඩු ආබාධ ඇති බව හඳුනා ගැනීමෙන් පසුව අදාළ බලධාරීන්ට මේ පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ගැම්බියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මුස්තාපා බිට්ටේ මෑත සතිවල මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවත් නිෂ්පාදන විකිණීම රට විසින් තහනම් කර ඇති බවත් සඳහන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This