
කුඩු සළිඳු ගේ ජාත්‍යන්තර රතු නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ජනවාරි 30
විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්රුවෙකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ රිට් පෙස්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මස 30 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව එම පෙත්සම ඊයේ (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාදනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වැනිදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට විදේශගතව සිටින කුඩු සළිඳු සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
