කුමන අභියෝග පැමිණියත් සිය භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති කියයි

කුමන අභියෝග පැමිණියත් සිය භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති කියයි

ඊශ‍්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුද ගිනි ඇවිලෙන ගාසා තීරය, අදත් ජාත්‍යන්තරයේ වැඩිම අවධානයට ලක්ව ඇති අතර කුමන අභියෝග පැමිණියත් සිය භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කර තිබෙනවා.

ගැටුම් පසෙකලා සාම මාවතක අවශ්‍යතාව වෙනුවෙන් කලාපීය සහ ජාත්‍යන්තර නායකයින් කයිරෝහි සාම සමුළුවකට එක්වෙමින් දැඩිව අවධාරණය කර ඇතත් එහිදී ද නිශ්චිත එකඟතාවන්ට යොමුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර රෆා දේශසීමා පිවිසුම විවෘත කිරීමෙන් පසු ආධාර රැගත් ට‍්‍රක් රථ ගාසා තීරයේ ජනතාවට ඒවා ලබා දීම සඳහා පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

දිනෙන් දින එල්ල වන ප‍්‍රහාර හමුවේ අනපේක්ශිත සිදුවීම් රැසකට මුහුණ දෙමින් උතුරු ගාසා තීරයේ සිට දකුණට පළා යමින් සිටින ගාසා වැසියන් වෙත ඊශ‍්‍රායල බලධාරීන් යළිත් ගුවනින් අත්පත‍්‍රිකා බෙදා හරිමින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ සිය නවතම ප‍්‍රහාර ආරම්භ කිරීමට සූදානම් බැවින් වහාම උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස නැවතත් අනතුරු අඟවමින්.

මීට පෙර මෙලෙස අනතුරු අඟවමින් බෙදාහරින ලද ඊශ‍්‍රායල අත් පත‍්‍රිකාවලට වඩා වෙනස් මුහුණවරක් ගෙන ඇති මෙම නවතම අත් පත‍්‍රිකා වල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ‘ඉවත් නොවීමට තීරණය කරන ඕනෑම අයෙකු, ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු ලෙස හඳුනා ගන්නා බවයි‘.

මේ අතර පලස්තීනුවන් මිලියන තුනක් පමණ ජීවත්වන බටහිර ඉවුරට ද ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාර වැඩිකර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

එලෙස එල්ල වූ ප‍්‍රහාරයකින් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ අල් අන්සාර් මුස්ලිම් පල්ලියට ද හානි වී ඇති බවටයි පලස්තීන බලධාරීන් චෝදනා කර ඇත්තේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඊශ‍්‍රායලය පවසන්නේ, අදාල දේවස්ථාන ගොඩනැගිල්ල ආසන්නයේ වූ භූගත හමාස් සහ ඉස්ලාමීය ජිහාඞ් ඉලක්ක වෙත පමණක් ප‍්‍රහාරයන් එල්ල කළ බවයි.

මේ අතර ඊශ‍්‍රායලයට තම රටේ ආරක්ෂාව තර කර ගැනීමට අයිතියක් ඇති බව පවසමින් අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට නවතම කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඉරානය, කලාපය පුරා සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන ත‍්‍රස්ත කණ්ඩායම් වෙත ආයුධ ලබා දීම නතර කරන ලෙස ද මෙම කෙටුම්පත හරහා අමෙරිකාව ඉල්ලා ඇති බවත් සඳහන්.

මේ අතර ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී ආරම්භ වූ සාම සමුළුව සඳහා ජෝර්දානය, කටාර් රාජ්‍යය, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ රටවල නියෝජිතයින් එක්ව ඇතත් ඊට ඊශ‍්‍රායලය, අමෙරිකාව සහ ඉරානය යන රටවල සහභාගීත්වයක් සිදුව නැහැ.

ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගෝලීය නිශ්ශබ්දතාව හෙළා දකින බවයි මෙම සමුළුවට එක් වූ ජෝර්දානයේ අබ්දුල්ලා රජු පවසා ඇත්තේ.

එමෙන්ම පලස්තීන ජනතාවගේ ජීවිත ඊශ‍්‍රායල ජනතාවගේ ජීවිත තරමට වැදගත් නොවන බව ඒ හරහා ඔවුන් අරාබි ලෝකයට පණිවුඩයක් ලබාදෙන බවද අබ්දුල්ලා රජු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ගැටුම්වලින් අවතැන්වූ පලස්තීනුවන් ඊජිප්තුවේ සීනායි වෙත යැවීමට පළ වන අදහස ප‍්‍රතික්ෂේප කරන බව පවසන ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී මෙහිදී අවධාරණය කර ඇත්තේ පලස්තීන ප‍්‍රශ්නයට විසඳුම වන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් ලබා ගැනීම හරහා පමණක් බවයි.

එමෙන්ම කුමන අභියෝග පැමිණියත් සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.

Share This