කුරානයට අපහාස කිරීම යටතේ හයිද්‍රාබාද් නුවර පවිත්‍රතා සේවකයෙකුට චෝදනා

කුරානයට අපහාස කිරීම යටතේ හයිද්‍රාබාද් නුවර පවිත්‍රතා සේවකයෙකුට චෝදනා

කුරානයට අපහාස කිරීම යටතේ පාකිස්ථානයේ හයිද්‍රාබාද් නුවර පවිත්‍රතා සේවකයෙකුට චෝදනා ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විදෙස් වාර්තා පැවසුවේ සුළුතර හින්දු ප්‍රජාව නියෝජනය කරන පවිත්‍රතා සේවකයෙකු පාකිස්ථානය තුළදී එලෙස චෝදනාවට ලක්ව ඇති බවයි.

ඉස්ලාම් ජාතික වෙළඳසැල් හිමියෙකු සමග ඇති කර ගත් පෞද්ගලික ආරවුලක ප්‍රථිපලයක් ලෙස අදාල හින්දු ජාතිකයා සාවද්‍ය චෝදනාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

කෝපයට පත් පිරිසක් විසින් අදාළ හින්දු ජාතිකයාට පහර දී ඇතැයි ද සඳහන්.

පැමිණිල්ලකට අනුව හයිද්‍රාබාද් පොලීසිය විසින් අදාළ පවිත්‍රතා සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රදේශවාසීන්ට භාර දෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවක් විසුරුවා හැරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ කුරානයට අපහාස කිරීම සම්බන්ධයෙන් හින්දු ජාතික පවිත්‍රතා සේවකයාට චෝදනා එල්ල ව නමුත් කුරානයට ගිනි තබා ඇත්තේ වෙනත් ආගමක කාන්තාවක් බවයි.

කුරානයට අපහාස කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ට චෝදනා එල්ල කිරීම පාකිස්ථානය තුළ සුලභ සිදුවීමක්.

එවැනි චෝදනා යටතේ ඇතැම් පුද්ගලයින් ඝාතනයට ලක්වන අතර ඇතැමුන් චෝදනා විභාගයකින් තොරව ම වරදකරුවන් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This