කුෂ් සමග ඇල්ලූ බ්‍රිතාන්‍ය තරුණිය ජූලි 09 දක්වා රිමාන්ඩ් බාරයට

කුෂ් සමග ඇල්ලූ බ්‍රිතාන්‍ය තරුණිය ජූලි 09 දක්වා රිමාන්ඩ් බාරයට

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී කුෂ් කිලෝ 46යි ග්‍රැම් 60ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි කාන්තාව තව දුරටත් ලබන ජුලි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාර මහතා නියෝග කළා.

මිගමුව බන්ධනාගාරය මගින් මිගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරිමේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගොස් සිටි බැවින් එම නියෝගය වැඩබලන මහෙස්ත්‍රාත්වරයකු විසින් අද (26) වැනිදා නිකුත් ක‍ර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්‍යාංශයේ පොලිස් සැරයන් ආර්.එම්.එස්. කුමාර මහතා වැඩිදුරටත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් තිබුණේ විෂ වර්ග , අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරිම, ජාවාරාම් කිරිම, සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේයි.

අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව
නඩුව කැඳවු අවස්ථාවේ දී මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා.

එමෙන්ම සැකකාර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවගේ ජංගම දුරකථනය වැඩිදුරටත් විමර්ශනය කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව සඳහන් කර ඇති බවත් තවමත් එහි වාර්තාව ලැබි නැති බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම සැකකාරියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාවද මේ වන තෙක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බව සඳහන් කළා.

එහිදි චාලට් මේ ලී නම් වු එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ එකී ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය ඇය ඉතා වටිනා මතකයක් බැවින් එය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි.

එහිදී වැඩ බලන මහේස්ත්‍රාත් වරාය එය ලබාදිමට හැකියාවක් ඇති දැයි කියා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයෙන් විමසිමක් කළා.

මේ වන විට ජංගම දුරකථනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් එහි විමර්ශන අවසන් වූ පසු එය ලබාදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තා කරන බවත් එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් සාක් කලාපිය රටවලින් සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර එම වාර්තාද ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණයට දැනුම් දුන්නා.

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය අධිකරණයට පැවසුවේ ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පෙර වැරදි සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බවයි.

ඒ අනුව එකී වාර්තා සොයා බලා ඉදිරිපත් අධික‍රණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නියෝග කළා.

අදාල නියෝග නිකුත් කිරිමෙන් අනතුරුව ඇයව තවදුරටත් ලබන ජුලි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මේ වන තුරු ඇයගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම විශේෂත්වයක්.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන නොසිටි අතර ඒවා කිසිවකු එහි තැන්පත් කර ඇති බව ඇය පැවසුවා.

මේ වන විට ඇය දින 40කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.

Share This