
කෙහෙල්බද්දර පද්මේ ගේ නීතිඥවරිය පැය 72 ක් රඳවාගෙන ප්රශ්න කරන්න අධිකරණයෙන් අවසර
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72 ක රඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්.
මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්රියේ කඩවත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය පෙබරවාරි 19 වැනිදා නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි අධිකරණ භූමියට පැමිණ තිබුණේ නීතිඥවරියක ලෙසින්.
සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනිඅවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්රමයක් දරා පසුගිය දා නේපාලයේදී අත් අඩංගුවට ගත්තා.
