
කෙහෙළියගේ තවත් ඖෂධ මගඩියක් කෝප් කමිටුවේදී හෙළිවෙයි
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නැමති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මෙම Savorite නැමැති පුද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබාදුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා ඇති බව සඳහන්.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී.
මෙහිදී 2022 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා හරහා ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම Savorite නැමැති පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කර තිබෙනවා.
එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව සඳහා වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බවත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාරදිය නොහැකි බවත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා එහිදී පෙන්වාදී ඇති බව සඳහන්.
එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට ඖෂධ ආනයනය කිරීම යටතේ පුර්ව අනුමැතියක් සහිතවම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබාදීමට නොහැකි බැවින් වගකීම බාරනොගත් බව සඳහන් කර සිටියා.
ඒ අනුව මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර , එහිදී මාස 3ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා Savorite නමැති පුද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාවට අනාවරණය වූ බව සඳහන්.
මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 26 දිනැති ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 3ක් කාලය තුළ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ශුන්‍ය මට්ටමකට ළඟාවිය හැකි බව සඳහන් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා සිටියා.
එයට පිළිතුරු ලබාදුන් නිලධාරීන් ඖෂධ වර්ග සම්බන්ධයෙන් පවතින දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයට එක් කර ඇති බවයි සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් එලෙස එකවර ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමකට ලඟාවීම පිළිගත නොහැකි බවත් එලෙස ශුන්‍ය මට්ටමකට පැමිණෙන තෙක් ආදාළ වගකිව යුතු නිලධාරීන් වගකීම් විරහිත කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කර ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ගද , ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවාදක්වමින් එම ඖෂධ ද ආනයනයට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළා.
මේ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පුර්ණ වර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුවට යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.