කේරළ ප්‍රාන්තයේදී බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් මරලා

කේරළ ප්‍රාන්තයේදී බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් මරලා

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මනුෂ්‍ය බිලි පූජාවක් සිදු කිරීමට කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ යුවළක් සහ තවත් පුද්ගලයෙක් සිටින බවයි

මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමට පෙර දැඩි වධ හිංසා ලබා දී ඇති බවද එරට පොලිසිය සඳහන් කරනවා

මෙම අපරාධය පිළිබඳව ඝාතකයන් විසින් පාපොච්චාරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ඝාතන මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කරන ලද චාරිත්‍රයක කොටසක් බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන්ගේ බවට සැක කෙරෙන මිනිස් අස්ථි කොටස් අඟහරුවාදා(11) පතනම්තිත්ත දිස්ත්‍රික්කයේ ඝාතකයෙකුගේ නිවසක් අසලින් ගොඩ ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වළෙන් ගොඩගත් විකෘති වූ සිරුරු කොටස් හඳුනාගැනීමට එම කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයන් අපොහොසත් වීමත් සමග අස්ථි කොටස්වල DNA සාම්පල පරීක්‍ෂණ සඳහා යවා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා

ඝාතනයට ලක්ව ඇත්තේ පද්මම් සහ රොසිලි යන කාන්තාවන් බව එරට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා

ඝාතනයට ලක්වූ 57 හැවිරිදි පද්මම් ධර්මපුරම් දිස්ත්‍රික්කයෙන් පැමිණ කොචිහි ජීවත් වූ අතර ඝාතනයට ලක්වූ අනෙක් කාන්තාව වන 49 හැවිරිදි රොසිලි ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ සිට කාලඩි චන්ද්‍රිකා නගරයේ ජීවත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This