කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ නිකුත්වේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ නිකුත්වේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මස 23 දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් කමිටුව පත් කළ අතර ඔවුන් සිය නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) – ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය (සභාපති),  නාලක කලුවැව – ලේකම්, අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘතීය අධ්‍යාපන අමාත්‍යංශය (සාමාජික), වෛද්‍ය අනිල් ජාසිංහ – ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය (සාමාජික)

මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ එම කමිටු සමාජිකයින් විසින්.

එම නිර්දේශ අතර පළමු වැන්න වන්නේ, එක් වර්ෂයක් සදහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බදවා ගැනීමයි.

එක් ව‍ර්ෂයක් සඳහා වෛද්‍ය පීඨයට බදවා ගනු ලබන වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150 කට සීමා කිරීමට නිර්දේශ කර ඇති අතර ගෙවීමේ පදනම මත බදවාගනු ලබන දේශිය වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100 ක් වේ යනුවෙන්  නිර්දේශ  කර තිබෙනවා.

වෛද්‍ය ශිෂ්‍යයින් බදවා ගැනීමේ දී ත්‍රිවිද හමුදා සිසුන්, විදේශීය සිසුන් හා දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාව දීමට කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

 

කමිටුව නිර්දේශ කර ඇත්තේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය තීරණය කරන පරිදි වෛද්‍ය සිසුන් බදවා ගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000 හෝ ඊට ඉහළ අවම Z අගයක් පවත්වා ගැනීමටයි.

 

මේ ආකාරයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීමට අදාලව පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව නිර්දේශ 10 ක් ඉදිරිපත් කර තිබෙනවා.

 

Share This