කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක්

කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක්

කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදයට මූලික හේතුව බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවීම බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා

ඒ අනුව දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් වන අතර ඉතිරි සියල්ල ඉතා ඉක්මනින් නිදහස් කෙරන බවයි ඔහු කියා සිටියේ

පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහලුම් වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂක, ශාක නීරෝධායන, සත්ත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහායි

දැනට බහලුම් පරීක්ෂාව සඳහා ඇති අංගන 03 හි ධාරිතාවය බහලුම් 350 ක් වන අතර දිනකට බහලුම් 2000ක් ආනයනය කලහොත් ඉන් 800ක් පරීක්ෂාව සඳහා යොමු කෙරනවා.

රාජ්‍ය ආදායම සුරක්ශිත කිරීම, හොරබඩු ජාවාරම වැලැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වනවා

මීට අමතරව දැනට බහලුම් නිශ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇති බවද ඔහු කියා සිටියා

එසේම වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ෂා කෙරෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුව තිබෙනවා

කෙසේ වෙතත්, වර්තමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුලින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගන භාවිතය පිළිබඳ අවධානයද යොමුව ඇති බවද සඳහන්

Share This