කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීම දැඩිව රෝහල්වලට බලපා තිබෙන හැටි

කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීම දැඩිව රෝහල්වලට බලපා තිබෙන හැටි

කොවිඩ්-19 රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා, රෝහල්වල තදබදයක් ඇතිවී තිබෙනවා

තදබදයක් ඇතිවී ඇති රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙනත් වාට්ටු ලබාදී හිස්කරගනු ලබන අතර එම වාට්ටු, කොවිඩ් රෝගීන් සඳහා ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

රාගම රෝහලට ගොස් පවතින තත්ත්වය නිරීක්ෂණය කළ අවස්ථාවේ, කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවල පවතින තදබදය සියැසින් දුටු බවත්, රාගම රෝහලේ වෙනත් වාට්ටු ලබාගෙන එම කොවිඩ් රෝගීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවත් සෞඛ්‍ය ඇමතිවරිය සඳහන් කරනවා .

දැනට බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකව පවතින සංකූලතා නොමැති කොවිඩ් රෝගීන් නිවෙස් තුළ රඳවා, වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමේ, ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා

එම වැඩසටහන ක්‍රියාවට නැංවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සහ විශ්‍රාමික වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලවල සහාය ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව සඳහන් කළ සෞඛ්‍ය ඇමතිවරිය 9 වන දා සඳුදා සිට මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන බවද පවසා සිටිනවා

රජයේ රෝහල්වල හදිසි අවශ්‍යතාවක් නොමැති සියලු ම වාට්ටු කොවිඩ් රෝගීන්ගේ ප්‍රයෝජනයට ගැනීමට පියවර ගෙන ඇති බවයි පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This