කොවිඩ් නිසා තම වැටුප ගැන ‘ශ්‍රීලනිප මන්ත්‍රීවරු’ ගත් බව කියන තීරණය

කොවිඩ් නිසා තම වැටුප ගැන ‘ශ්‍රීලනිප මන්ත්‍රීවරු’ ගත් බව කියන තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ මාසයේ ඔවුන්ට හිමි මුළු වැටුපම කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා අසරණව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවත් එම වැටුප සෞඛ්‍ය අංශවලට ලබාදීමට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා

එමෙන්ම තම මන්ත්‍රී වැටුප කොවිඩ්-19 වසංගතය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමටද පරිසර ඇමති මහින්ද අමරවීර තීරණය කොට තිබෙනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටින්නේ “කොවිඩ් වසංගතය අවසන් වන තෙක් ලබන මාසයේ සිට මම නැවත මන්ත්‍රී වැටුප ලබාගන්නේ නැහැ.එම වැටුප මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා පිරිනමනවා.අවශ්‍ය වුවහොත් මට මන්ත්‍රීවරයෙකු වශයෙන් හිමිවන සියලු වරප්‍රසාද කැප කරන්න මම සූදානම්.

රටේ ජනතාව දුක් විඳින අවස්ථාවක ඔවුන්ගේ බදු මුදලින් නඩත්තු වන සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා කැපවිය යුතුයි.මේ වෙලාවේ අපිට වටින්නේ අපේ රටේ ජනතාවයි.

එසේ නැතුව අප මේ වරප්‍රසාද ලබාගෙන ඒවා භුක්ති විඳීම යුක්ති සහගත නැහැ.ඒ නිසා අවශ්‍ය නම් අපිට ලබා දී තිබෙන නිල වාහන වුවත් ඒ සඳහා පරිත්‍යාග කරන්න මම සූදානම්.පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට දී ඇති වරප්‍රසාද කැප කිරීමට ඉදිරිපත් වන්නැයි මා කළ ඉල්ලීම නිසා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පවා ඒ සඳහා උනන්දු වී සිටිනවා.

සමහර මන්ත්‍රීවරුන් දැනටමත් එම කැපවීම සිදු කර තිබෙනවා. මම ඒ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.තමන්ට හිමි මන්ත්‍රි වැටුප මෙන් ම අනෙකුත් දීමනා කොවිඩ්-19 නිසා අසරණව සිටින අපේ රටේ ජනතාව වෙනුවෙන් කැප කරන ලෙස මම ආණ්ඩු පක්ෂයේ වගේ ම විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගෙනුත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේ ම අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලවලටත් අඩු තරමින් එක් මාසයක හෝ තමන්ට හිමිවන පහසුකම් සඳහා වැයවන මුදලින් යම් ප්‍රමාණයක් හෝ රටේ ජනතාව වෙනුවෙන් කැප කිරීමට පුළුවන් “බවයි ඔහු සඳහන් කරන්නේ .

එමෙන්ම පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙක්ද තම වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පෙළඹුණා. බන්දුල ගුණවර්ධන ,සිසිර ජයකොඩි යන ඇමතිවරුන් මෙලෙස තම වැටුප පරිත්‍යාග කළ අයයි.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This