කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට (VIDEO)

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට (VIDEO)

නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු පිරිසකට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ නිධානයක් ලබාගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය කටයුතු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවට එදින වාර්තා වූ අතර ඔහුද එම සිදුවීමට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳ පොලිස් විමර්ශන සිදු කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන උජිත් ලියනගේ අත්අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රියේ කටයුතු කර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුඩ්ලර් මහතා සඳහන් කළේ නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකිරීමේ ක්‍රියාවලියට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Share This