
කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව නායාමෙන් මියගිය පිරිස 6 යි – ගල් ඉවත් කිරීමේ කටයුතු අදත් (VIDEO)
කොළඹ මහනුවර පාරේ පහළ කඩුගන්නාව ගණේතැන්න ප්‍රදේශයේ නාය යෑම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිටම ආරම්භ වුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඉහළ සිට පෙරළී විත් කොංක්‍රීට් කනු අතර සිරවී ඇති අවදානම් සහිත ගල් කුට්ටිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඊයේ රාත්‍රිය වන විට 6 ක් දක්වා ඉහළ ගියා.
මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුන්නාව, ගණේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් සහ නිවසක් මතට ගලක් සහ පස් කණ්ඩියක් කඩා වැටුණේ ඊයේ උදෑසන 8.30 ත් 9.00ත් අතර කාලයේදීයි.
එම අවස්ථාවේ අදාළ වෙළඳසැලේ සේවයේ නියුතු පිරිස සහ ඉන් ආහාර ලබාගැනීමට පැමිණි 10 දෙනෙකු සිට ඇති බවට වාර්තා වුණා.
පස් කණ්ඩිය සහ ගල පෙරළීමෙන් සුළු මොහොතකට පසු එම සුන්බුන් අතරේ සිරවී සිටි සිව්දෙනෙකු මුදාගෙන රෝහල් ගත කළත්, එම අවස්ථාවේදීම එක් අයෙකු මියගොස් තිබුණා.
වෙළඳසැලේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කළත් වෙළඳසැලේ හිමිකරුගේ බිරිඳ ඇතුලු කිහිප දෙනෙකුම සුන්බුන් අතර තවදුරටත් සිරවී සිටියා.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්, ආරක්‍ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත පැය 6 ක පමණ මෙහෙයුමකින් පසුව වෙළෙඳසල හිමිකරුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු පිටතට ගැනීමට හැකි වුණා.
ඔවුන් කඩිනමින් රෝහලට රැගෙන ගියා.
මේ අතර ඊයේ පස්වරුව වනවිට සිරවී සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පිටතට ගැනීමට කටයුතු කළ ද ඔවුන් ඒ වනවිටත් මියගොස් තිබුණා.
කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේත් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගණේතැන්න කොටස ගමනා ගමනයට විවෘත නොකර බවයි බලධාරීන් සඳහන් කළේ.
ආපදා තත්ත්වය හමුවේ මහනුවරට ළඟාවීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට තවදුරටත් දැනුම් දෙනවා.
ඒ අනුව මාවනැල්ල, රඹුක්කන හරහා හතරලියැද්ද ප්‍රදේශයෙන් පැමිණ මහනුවරටත් – මාවනැල්ල, මහන්තේගම හන්දියෙන් වමට හැරී කඩුගන්නාව හරහා මහනුවරටත් – මාවනැල්ල, හෙම්මාතගම ගම්පොළ හරහා මහනුවරටත් ළඟා විය හැකියි.
කෙසේ වෙතත් ගම්පොළ ආසන්නයේ විකල්ප මාර්ග අවදානම් සහිත බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
