කෝටි 40ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කෝටි 40ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි හතලිහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළේ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (25) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩාවේ ඔන්ටාරියෝහි පදිංචිකරුවකු වන 52 හැවිරිදි වියෙහි මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ QR-662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 298 ක් සගවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This