කෝවිඩ් අර්බුදයෙන් ගිනිගෙන දැවෙන විරැකියා අර්බුදය

කෝවිඩ් අර්බුදයෙන් ගිනිගෙන දැවෙන විරැකියා අර්බුදය

මේ වන විට ලෝකයේ රටවල් රැසක් කෝවිඩ් වසංගතය හේතුවෙන් හටගත් සෟජු මෙන්ම වක්‍ර බලපෑම් හේතුවෙන් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටියි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ආර්ථික වශයෙන් දුබල රටවල් මෙන්ම ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් ද මෙම තත්වයට විවිධාකාරයෙන් ගොදුරු වී සිටීමයි.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව එරට නාගරික තරුණ ජනගහනයෙන් 16% ක් රැකියා විරහිත තත්වයට මුහුණ දී සිටිති. චීන රජය විසින්, විශේෂයෙන්ම එරට තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කරන ලෙස ප්‍රාදේශීය පාලන ආයතනවලින් අඛණ්ඩව ඉල්ලීම් කරන තරමට තත්වය දරැණු වී තිබේ.

වෛරස් පැතිරීම් සහ රට අගුලු දැමීම් හේතුවෙන් විරැකියා අනුපාතය මාර්තු මාසයේ සිට කැපී පෙනන ලෙස ඉහළ යමින් පවතින බව එරට වාර්තාවල දැක්වේ.

චීන අග්‍රාමාත්‍ය ලී කෙයුකියෑන්ග් විසින් අප්‍රේල් 27 පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීමකදී පැවසුවේ මධ්‍යම රජය සමාගම්වලට මෙහෙයුම් සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට උපකාර කිරීම, විදුලි ගාස්තු කපා හැරීම, තරුණ කම්කරුවන් සඳහා සීමාවාසික තනතුරු නිර්මාණය කිරීම සහ ග්‍රාමීය කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරමින් ඇති බවයි. ඒ හරහා මෙම විරැකියා අර්බුදයට විසදුම් සෙවීමට බලාපොරොත්තු වන බව ද ඔහු එහිදී සදහන් කර තිබේ.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව (NBS) නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 16 ත් 24 ත් අතර පුද්ගලයින්ගෙන් 16% ක් පසුගිය මාර්තු මාසයේ රැකියා විරහිත වූ අතර ඒ අනුව නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේදී 0.3% සිට 5.8% දක්වා ඉහළ ගොස් ඇති බව එම කාර්යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ . ඒ අනුව චීනයේ මේ වසරේ පළමු කාර්තුවේදී විරැකියා අනුපාතය 5.5% කි. ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, චීනයේ නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 16-24 අතර, රැකියා විරහිත අනුපාතය පසුගිය මාසයේ 16% දක්වා ළඟාවද්දී එය පෙබරවාරි මාසයේ 15.3% ක්සහ පසුගිය දෙසැම්බර් මාසයේ 14.3% ක් ලෙස සටහන් වී තිබිණ.

ඉතා ඉක්මනින් බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදයේ නැගීම හේතුවෙන් බොහෝ චීන නගර මාර්තු සහ අප්‍රේල් මාසවල වසා දමන ලදී. ෂැංහයි හි මිලියන 10 කට අධික ජනතාවක් සිටින දිස්ත්‍රික්ක මාර්තු 28 සිට තවමත් පවතින්නේ අගුලු දැමූ ගමන්මය. මුහුදුබඩ නගරවන ෂෝෂු සහ හැන්ග්ෂු හි දැඩි සීමා කිරීම් පනවා ඇති අතර බෙයිජිංහි මහා පරිමාණ කෝවිඩ් පරීක්ෂා කිරීම් දියත් කර ඇත්තේ දිනෙන් දින වාර්තාවන කොරෝනා ආසාදිතයන් පාලනය කිරීමේ අරමුණිනි.

මාර්තු මාසයේදී ඇතැම් නගරවල නරක අතට හැරුණු තත්වය තවමත් පහව ගොස් නොමැති අතර කොවිඩ් වසංගත තත්වය බහුතර ප්‍රදේශවල ඉදිකිරීම්, ප්‍රවාහන, ආහාර සැපයීම, සිල්ලර සහ තොග, සේවා, සංස්කෘතික සහ සංචාරක යන අංශවල ව්‍යාපාරික කටයුතු සඳහා අහිතකර ලෙස බලපා තිබේ.

මේ පිළිබදව එරට රජය සදහන් කර ඇත්තේ , චීනය මේ වසරේ නාගරික රැකියා විරහිත අනුපාතය සාමාන්‍යයෙන් 5.5% ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට ඉලක්ක කර ඇති බවයි. කෙසේවෙතත්, මෑත කාලීන වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රැකියා උත්පාදනය කිරීමේදී රට බොහෝ දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දී ඇති බවත් ඒ අනුව අදාළ ඉලක්ක පවත්වා ගැනීම අසීරු වනු බවත් චීන රජය පෙන්වා දෙයි.

අගමැති ලී කෙයුකියෑන්ග්ට අනුව වාර්තාගත ‍ලෙස විශ්වවිද්‍යාල උපාධිධාරීන් මිලියන 10.6ක් ද ඇතුළුව මේ වසරේ නව රැකියා අපේක්ෂකයින් සංඛ්‍යාව මිලියන 16.6ක් දක්වා ඉහළ ගොස් තිබේ . නගරවල මිලියන 300 කට ආසන්න ග්‍රාමීය සංක්‍රමණික සේවකයින්ට රැකියා ඇති බව සහතික කිරීමට ද රජයට සිදුව ඇති බවත් එය අසීරු සහ අභියෝගාත්මක ඉලක්කයක් බවත් අගමැතිවරයා එරට පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබේ.

රැකියා නියුක්තිය ස්ථාවරව තබා ගැනීම ප්‍රධාන ආර්ථික දර්ශක සුදුසු පරාසයක් තුළ තබා ගැනීම සඳහා ප්‍රධාන පදනමක් වන බවත්, නිෂ්පාදන නැවත ආරම්භ කිරීමට සමාගම්වලට උපකාර කිරීමට පියවර ගන්නා බවත් චීන අග්‍රාමාත්‍ය ලී කෙයුකියෑන්ග් වැඩිදුරටත් පවසා ඇත.

එහිදී විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට සීමාවාසික තනතුරු ලබා දෙන ආයතන සඳහා රජය සහනාධාර ලබා දෙන අතර සංක්‍රමණික සේවකයින් සඳහා රැකියා ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක් ආරම්භ කරනු ඇත.

විද්‍යාල උපාධිධාරීන්ට තනතුරු සොයා ගැනීමට උපකාර කිරීම සඳහා රැකියා සේවා වැඩිදියුණු කරන බවත්, ශිෂ්‍ය ණය ආපසු ගෙවීම කල් දැමීම සහ රැකියා විරහිතයිත පුද්ගලයින් ට තාවකාලික දීමනා ලබා දීම වැනි වෙනත් ආධාරක ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය වරයා පවසා තිබේ.

මෑත වසරවල ආර්ථික සංඛ්‍යාලේඛන මත පදනම්ව බැලූ විට ආර්ථික වර්ධනයේ සෑම ප්‍රතිශත ලක්ෂයකින්ම චීනයේ නව රැකියා මිලියන දෙකක් පමණ නිර්මාණය කළ හැකි බව රාජ්‍ය කවුන්සිලයේ සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන ශැන්ග් ලිකියුන් මෙම වසරේ ජනවාරි මස සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පසුගිය වසරේ පළමු කාර්තුවේ දී වෙළඳපල අපේක්ෂාවන් අභිබවා 4.8% කින් වර්ධනය වූ බව NBS ආයතනය අප්‍රේල් 18 වෙනිදා නිවේදනය කළේය. මෙම වර්ශය සඳහා පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ඉලක්කය 5.5% හි පවත්වා ගෙන යාමට සමත් වී ඇත.

එහෙත් , චීනයේ 2022 දළ දේශීය නිෂ්පාදිතය සඳහා වන පුරෝකථනය 4.6% සිට 4.2% දක්වා අඩුවන බව සඳහන් කෙරෙන අතර නගර අගුලු දැමීම හේතුවෙන් දෙවන කාර්තුවේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 0.5% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෝල්ස්ට්‍රීට් ජර්නලයට අනුව, චීනයේ 2022 දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය එක්සත් ජනපදයට වඩා ඉහළින් පවතින බව සහතික කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් මෑත රැස්වීම්වලදී ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඇත. මෙම වසරේ එක්සත් ජනපද ආර්ථිකය 3.7% කින් වර්ධනය විය හැකි බව ධවල මන්දිර නිලධාරීහු මාධ්‍ය වෙත පැවසූහ.

චීනයේ ප්‍රධාන නගරවල වෛරස් පැතිරීම හේතුවෙන්, වැඩි වශයෙන් තරුණ රැකියා අපේක්ෂකයින්ට මේ වසරේදී පළමු සහ දෙවන පෙළ නගරවලට යාම වෙනුවට ඔවුන්ගේ උපන් නගරවල රැඳී සිටීම තෝරා ගත හැකි බව මේ අතර එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අප්‍රේල් 13 වෙනිදා, පීපල්ස් ඩේලි සතු මූල්‍ය පුවත්පතක් වන චයිනා ෆන්ඩ් නිව්ස් පුවත්පත , බීජිං හි චායොන්ග් දිස්ත්‍රික්කයේ නාගරික කළමනාකරණ නිලධාරීන් ලෙස අලුතින් බඳවා ගත් පුද්ගලයන්ගෙන් 95%ක් ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධියක් ලබා ඇති බවද වාර්තා කළේය.එයම චීනය මේ වන විට මුහුණ දී ඇති රැකියා වියුක්තිය සහ ඌන සේවා නියුක්තියේ තරම පෙන්වන කැඩපතක් බව විචාරක මතයයි.

Share This