
ගම්පහදී රථ වාහන පොලිස් නිලධාරීන්ට බාධා කළ කාන්තාව 10 දක්වා රිමාන්ඩ්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ නැගණිය ලෙස පවසමින් පොලිසියේ රථවාහන රාජකාරිවලට බාධ කළ කාන්තාව අද (03) දෙවන වරට නැවත ගම්පහ මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් සීලණි පෙරේරා මහත්මිය නියෝග කළා.
අදාළ සැකකාර කාන්තාව ඉකුත් 01 වනදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මුල්වරට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකාරිය එහිදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ බන්ධනාගාර සිර මැදිරිය තුළ රඳවා තැබීමට පියවර ගත්තා.
අද මහේස්ත්‍රාත් අධිකරණයේ අංක එක ශාලාවේ නඩුව කැඳවූ අතර එහිදී ගම්පහ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා සහ කාන්තා පොලිස් පරීක්ශිකා පියදර්ශනී මහත්මිය විසින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.
එහිදී සඳහන් කර සිටියේ අදාල සැකකාරිය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කිලෝමීටර් 15 ක පමණ දුරක් මෝටර් රථය පසුපස ලුහුබැඳ පොලීසිය අත්අඩංගුවට ගත් බවයි.
එම අවස්ථාවේ රන්මල් කොඩිතුවක්කු ගේ නැගණියක බව පවසමින් උසස් පොලිස් නිලධාරියෙකුගේ නම භාවිතා කර කනිෂ්ඨ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට කටයුතු කළ බවත්, විත්තිකාරිය සතුව රියදුරු බලපත්‍ර දෙකක් සහ පදිංචි ස්ථාන දෙකක් සඳහන් වන බැවින් ඒ පිළිබඳව විමර්ශන සිදුකිරීමට තිබෙන බවත් අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෙසේ ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සේවාදායිකාව දියවැඩියා රෝගය ඇතුළු රෝග කීපයකින් පෙළෙන බවයි.
ඇයට දරුවකු සිටින බවත්, ඇය නිතර කෝපයට පත්වන තැනැත්තියක් බවත් ඒ අනුව සුදුසු ඇපයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.
දෙපාර්ශවයේ කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට හැකි අතර වීඩියෝ දර්ශන වල දැක්වෙන ආකාරයට විත්තිකාරයගේ හැසිරීම නිරීක්‍ෂණය කිරීමේදී ඇය ගැන විශ්වාසයක් තබාගැනීමට නොහැකි බවත්, ඇප ලබා දුනහොත් ඇය අධිකරණය මගහැරීමට ඉඩ ඇති බවත් පැවසුවා.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය නියෝග කළා.
