ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැත වැළකුණු හැටි

ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැත වැළකුණු හැටි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට හැකිවී තිබෙනවා.

ඒ පසුගිය පළමුවන දා අලුයම අලුත්ගම ප්‍රදේශයේදී T56 වර්ගය ගිනි අවියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

වැඩ තහනමට ලක්ව ඇති හිටපු පොලිස් විශේෂකාර්ය බලකා සෙබළෙක් වූ අදාළ සැකකරුගේ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසින් එකක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධාන අපරාධ මර්ධනය ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබෙන බව සඳහන්.

අදාළ සැකකරුගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන අතර සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන දැනට බන්ධනාගාරගතව පසුවන මාකිලංගමුවේ සංජීව හෙවත්, ගණේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමෙකු බවයි.

තවද එලෙස සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ගෝලයින් වන පැට්ටා මංජු සහ දිනේෂ් වසන්ත නැමැත්තන් විසින් අදාළ සැකකරු වෙත ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව එම ගිනි අවිය පැට්ටා මංජුගේ සහ දිනේෂ් වසන්තගේ උපදෙස් මත අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබා දීම සඳහා සූදානම් කර තිබූ බවත් පසුව එම අවිය භාවිතා කරමින් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් මැත්තා ඝාතනය කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ගම්පහ ඔස්මන් නැමති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ගණේමුල්ල සංජීව නමැත්තා විසින් කලක සිට සැලසුම් කරන අතර ගම්පහ පොලීසියේ මැදිහත්වීම මත ඒ සියලු දේ ව්‍යර්ථ වී තිබෙනවා.

ඉකුත් මාර්තු මස ගම්පහ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාශය කටයුතු කළ අතර එහිදීද අනාවරණය වුණේ අදාළ වෙඩික්කරුවන් ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි බවයි.

කප්පම් ලබා ගැනීමට එරෙහිව කටයුතු කරන ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනයට ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වයෙන් සහ කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාර්ශ්වයෙන් කලක සිට උත්සාහ දරන අතර එවැනි උත්සාහයන් හතරක් ව්‍යාර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකිවී තිබෙනවා.

Share This